‘මහින්ද රාජපක්ෂ යුගයට එරෙහි බොරු ප්‍රචාරණ ආණ්ඩුවගෙන යනවා’ - බන්දුල


      
 
(නිමල කොඩිතුවක්කු)
      
ඉන්ධන මිළ ඉහළ දැමීම ඇතුළු කරුණු හේතුවෙන් රජයට එල්ල වන අපවාද වලින් ගැලවී යාම සඳහා මහජන බදු මුදල් යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ යුගයට එරෙහිව අසත්‍ය තොරතුරු සහිත ප‍්‍රචාරණ ව්‍යාපෘතියක් ආණ්ඩුව ක‍්‍රියාත්මක කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී පැවසීය. 
        
මහබැංකු වාර්තාද නොසළකා හරිමින් සිදුකරගෙන යන මෙම අසත්‍ය තොරතුරු ප‍්‍රචාරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයට එරෙහිව ඉදිරියේ දී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියේය.
       
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මහතා මෙසේද කීවේය.
       
 ‘‘ ගංවතුර සහ නාය යෑම් පිළිබඳ ස්වාභාවික ආපදා තත්වය ඇතිවෙන්න කලින් ජනතාවට විශාල  පීඩනයක් ඇතිවෙන ලෙස ඛණිජ තෙල් මිල සූත‍්‍රයක් හදුන්වා දී අසාමාන්‍ය ලෙස භූමිතෙල්  ඇතුළු ඛනිජ තෙල්වල මිල ඉහළ දැමීමට මේ රජය කටයුතු කළා. ඒ සමඟ රටපුරාම ධීවරයන්, කර්මාන්තකරුවන්, ගොවීන් ආදී පිරිස් රජයට එරෙහිව විරෝධතා ගෙන ගියා.
     
මෙයට ප‍්‍රතිචාර ලෙස විපත් මගේ නිර්මාතෘ  මංගල සමරවීර මහතා විසින් මහජනතාවගේ බදු මුදල් කෝටි ප‍්‍රකෝටි  ගණනින්  වියදම් කරමින් ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.  2014 මහින්ද රාජපක්ෂ යුගයේ බොර තෙල් බැරලයක මිල  ඇමරිකානු ඩොලර් 60ක් කියලා පසුගිය සති අන්ත පුවත්පත්වල පළවු මෙම දැන්වීම්වල සඳහන් වෙලා තියෙනවා. 2014 දී භූමිතෙල් ලීටරයක්  අලෙවි වූ මිළ රුපියල්  106ක් බවත් එහි දැක්වෙනවා.  සම්පූර්ණයෙන්ම අසත්‍යය තොරතුරු පදනම් කරගනිමින් මෙම දැන්වීම් නිර්මාණය කර තිබෙනවා.
මහජනයාගේ බදු මුදල් යොදා ගෙන විකෘති  හා අසත්‍ය සංඛ්‍යාලේඛන ඇතුළත් කරමින්  රට මුලා කිරීමට ගන්නා වූ එම උත්සාහය ඒකාබද්ධ විපක්ෂයේ  ආර්ථික පර්යේෂණ ඒකකය ඉතාම පිළිකුලින් යුතුව හෙළා දකිනවා.