2009 දී යුද්ධයේ අවසන් අදියරේදී සිදු වීයැයි කියන මානව හිමිකම් කඩවීම් දෑ පිළිබඳ පරීක්ෂා කිරීමට හිටපු ජනාධිපතිවරයා මාස හතක කාලයක් සඳහා ලබා ගත් ජගත් විශේෂඥ සහාය හා එම කාර්යයේ නිරතවූ පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියන 135 කට අධික මුදලක් වියදම් කර ඇති බව හෙළිවී ඇතැයිද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටී.
එමෙන්ම එක් අයෙක් හෝ දෙදෙනෙක් සඳහා අදාල සේවා සැපයීම වෙනුවෙන් පවුම් 55000 කට වැඩි මුදලක් ගෙවා ඇති බවටද අනාවරණය වී ඇති බව අමාත්‍ය සමරවීර මහතා පෙන්වා දී ඇතැයි විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටින්නේ ඉකුත් රාජපක්ෂ රෙජීමය සමයේ මහ බැංකුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන තම කීර්තිනාමය වර්ධනය කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මහජන සබඳතා ආයතන සඳහා රුපියල් කෝටි 200ක මුදලක් වැය කොට ඇති බවය.
එලෙස මුදල් වියදම් කරනු ලැබ ඇත්තේ තොම්සන් ඇඩ්වයිසරි ගෘප්, ඛෙල්ට් වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටජීස් හා ලිබර්ටීස් ඉන්ටර්නැෂනල් ගෘප් යන ජාත්‍යන්තර මහජන සබඳතා ආයතන සඳහා යැයිද හෙතෙම කියා සිටී.
ඒ අනුව ඉකුත් රාජපක්ෂ රජය රටේ මහජනතාවගේ බදු මුදල් වියදම් කරමින් ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගත්තා මිස මිතුරු රාජ්‍යයන් හොඳහිත මත ලබාදීමට කැමති වූ සේවා ලබා ගැනීමට කටයුතු නොකළ බව විදේශ අමාත්‍යවරයා කියා සිටී.

