‘මහින්ද පරාජය පිළිගනී‘


මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය කියයි.

පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.

‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටනක් දුන්නා.‘

‘අපි දිස්ත්‍රික්ක අටක් දිනුවා. පාලක යූඇන්පිට දිස්ත්‍රික් 11ක් දිනලා.‘ යැයි රාජපක්ෂ කීවේය.

‘මෙයින් කියන්නේ අපි පරාජය වූ බවයි. ඒක අමාරු සටනක්. ‘

අද මධ්‍යහ්නට වන විට අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වෙතියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.

මනාප ප්‍රතිඵල ඉන් පසු නිකුත් කැරෙයි.

ඡන්දය දීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මැදමුලනේ දී පැවසුවේ තමා ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ මීළඟ අගමැති වන බවයි.

නියමිත කාලයට වඩා වසරකට කළින් මේ මැතිවරණය පැවැත්විණි.

මැතිවරණ කොමසාරිස් පැවසුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම සාමකාමීම මෙම මැතිවරණය බවයි.