ඇමෙරිකා එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන් යු.එස්.එන්.එස් මර්සි නෞකාවේ දී පළමු රොබෝ ආධාරිත ශල්‍ය කර්මය සිදුකළ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ට ඇතුළුව තවත් රටවල් කිහිපයක වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම රොබෝ ආධාරිත ශල්‍ය කර්මය සිදු කර තිබේ.
මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යු.එස්.එන්.එස් මර්සි නෞකාවේ ඩාවින්සි XI රොබෝ ශල්‍ය පද්ධතියේ සහාය ඇතිව ශ්‍රී ලාංකික පුරවැසියකුගේ පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් මේ අයුරින් සාර්ථකව සිදු කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ජංගම රෝහල් නෞකා දෙකෙන් එකක් වන යු.එස්.එන්.එස් මර්සි නෞකාව ‘ශාන්තිකර සහයෝගීතාව 2018’ වැඩසටහන යටතේ අප්‍රේල් 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර මැයි 9 වැනිදා දක්වා මෙරට රැඳි සිටියේය.
එම කාලය තුළදී එම නෞකාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සහ අනෙකුත් රටවල වෛද්‍යවරුන්, වෛද්‍ය වෘත්තිකයන් ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් හා එක්වෙමින් නෞකාව තුළ ශල්‍යකර්ම කිහිපයක් ම සිදු කළ අතර රොබෝවකුගේ සහාය ඇතිව කරන ලද පළමු ශල්‍යකර්මය මෙය වේ.
මැයි 4 වැනිදා මෙම ශල්‍යකර්මය කර තිබෙන අතර රෝගියා මේ වනවිට මූතූර් රෝහලේ ශල්‍ය වෛද්‍ය වයිරමුත්තු වරනීතිරන් යටතේ ශල්‍යකර්මයෙන් පසු සාමාන්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේය.
(055)