‘මත්තල ගුවන් යානා නැති නිසා සත්තු ලැග්ගා‘


‘ජනවාරි පෙබරවාරි වන විට  මත්තල වී තොග අපි අයින් කරගන්නවා. මත්තලට මාසිකව ලක්ෂ 8ක් දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ. නිමල් සිරිපාල සිල්වා ඇමති තුමා කැබිනට් තීරණ ගැන හොයලා බලලා කථා නොකිරීම ගැටළුවක්‘ යැයි වී අලෙවි මණ්ඩලය භාර ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා එම අමාත්‍යංශයේදී පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

‘මත්තල වී ගබඩා කිරීම අපි බලහත්කාරයෙන් වී අලෙවි මණ්ඩලයෙන් වී ගිහින් දැම්මේ නෑ. මත්තල වී ගබඩා කරන්න කලින් අපි වරාය හා ගුවන් සේවා එකෙන් අවසරය ගත්තා. ඒ වගේම රේගුවෙන් අපි අවසරය ගත්තා.ඒ දෙගොල්ලන්ගෙන්ම අවසරය ඇතිව විශේෂයෙන් වරාය හා ගුවන් සේවා නිර්දේශය දිල තියෙනව ඒ ගබඩාව පාවිච්චි කිරීමට වී ගබඩා කිරීමට. වී ගබඩා කිරීම නිසා කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ. එහෙම වුණොත් ඒ අය වගකීම භාර ගන්නව කියල. ඒ අයගේ ඒ විශ්වාසය හා වගකීම ලිඛිතව දිලා තියෙනවා. ඒ අනුව තමයි වී අලෙවි මණ්ඩලය ගිහිල්ල මත්තල  ගබඩාවේ වී දැම්මේ.

එක මාසෙකට රුපියල් ලක්ෂ 8 ගානේ අපි ගෙවන පොරොන්දුව මත තමයි මත්තල වී ගබඩාව අපි පාවිච්චි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ එක පැත්තකින් වරාය හා ගුවන්සේවා අමාත්‍යංශය හා නිමල් සිරිපාලද සිල්වා ඒ භාර ඇමැතිතුමා සතුටු වෙන්න ඕනේ හරි විදියට නම් මත්තලින් ලැබෙන්නේ 16,000 ක මාසික ආදායමක්. හැබැයි අපි වී අලෙවි මණ්ඩලය මාසෙකට රුපියල් ලක්ෂ 8ක් ගෙවන්න පොරොන්දු වුණා. මේ කොබෙයියෝ, පරෙවියෝ මෙහෙම ආවයි කියලා එතුමා කියලා තිබුණා. හැබැයි මත්තල පහුගියකාලේ කොබෙයියෝ , පරෙවියෝ, ආවේ වී අලෙවි මණ්ඩලයේ එහි වී ගබඩා කරපු නිසා නෙවෙයි. ඉතිහාසයෙත් ඒකෙ ලැග්ගේ කොහොමත් පරෙවියෝ තමයි. ඒ විතරක් නෙවෙයි. මොණරුත් ඉන්නවා .මොණරුන් විතරක් නෙවෙයි. ගැරඩියෝ, කබරයෝ ඒ වගේම මී මින්නෝ, හාවෝ මොවුන් ඔක්කෝම ලැගලා ඉන්නේ ඕකේ. මොකද ගුවන් යානා එන්නේ නෑනේ. අඩු ගානේ මාසෙකට එක් සැරයක් වත් එක්ක එන්නේ නෑ. ඉතින් ඒක නිසා මම පැහැදිලිව කියන්න ඕන මත්තලට කොබෙයියෝ, පරෙවියෝ ආවේ මේ ගබඩාව ඇති කරපු නිසා නොවෙයි කියල මං හිතන්නේ. නිමල් සිරිපාල සිල්වා කියන්නේ ජ්‍යෙෂ්ඨ ඇමති වරයෙක්. මං හිතනවා එතුමා මීට වැඩිය වගකීමෙන් ප්‍රකාශයක් කළානම් හොඳයි කියලා‘ යැයිද අමාත්‍යවරයා කීවේය.