‘මඩකලපුව විශ්වවිද්‍යාලයට මුදල් භාවිත කළ ආකාරය සොයන්න’


(ඩයනා උදයංගනී)
 
මඩකලපුවේ ඉදිකර ඇති විශ්වවිද්‍යාලය ඉදිකිරී‍ම වෙනුවෙන් ලැබුණු අරමුදල් භාවිතා කර ඇති ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 
මේ වෙනුවෙන් යොදවා ඇත්තේ අරාබි රටකින් පුද්ගලික ධනයක් බව කී ඇමතිවරයා ඒවා නිවැරදිව භාවිතා වී නැති බවත්, අතරමගදී කවුරුන් හෝ කොල්ල කා ඇද්ද යන්න ගැන සැකයක් පවතින බවත් සඳහන් කළේය.
 
මෙයට ලැබුණු මුදල් යම් යම් පිරිස් සාක්කුවේ දාගෙන තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම ලබා දිය යුතු බව ද ඇමතිවරයා කීවේය.
 
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ රුපියල් මිලියන 75 ක වියදමින් අම්පාර නගරයේ ඉදිකිරීමට යෝජිත නාගරික සංවර්ධන අධිකාරියේ නව පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.
 
මඩකලපු විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් ආරම්භ වූ දා සිටම සිදුව ඇත්තේ පට්ටපල් වංචාවක් බව කී ඇමතිවරයා දරුවන්ට තාක්ෂණික පුහුණුව ලබාදීම සඳහා එය පිහිටුවන බව කීවත් කර ඇත්තේ වෙනත් දෙයක් යැයි ද කීවේය. එබැවින් මෙය රජය යටතේ ඇති නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කොටසක් බවට පත්කර මුස්ලිම්, දෙමළ සිංහල සියළු දෙනාටම අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් විය යුතු යැයිද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.