වත්මන් ශ්‍රී ලාංකීය සිනමාවේ පසුබිම් ගීත ගායනයේ රැජිණිය ඇයම බව කිව හැකිය. ඇය උරේෂා රවිහාරිය. ඇගේ හඬ මිහිරිය. වින්ඳනාත්මකය. සිනමා කාව්‍යයේ සොඳුරුතම ගැයුම ඇයම වන්නීය. මේ දිනවල ඒ මියුරු හඬ වින්දනය කළ හැකි වන්නේ තිරගත වන ”මහරජ අජාසත්” සිනමා නිර්මාණය යෙනි. උරේෂාගේ ඒ ගීතවත් හඬට සමීපව ගීතවත් කතාබහකට ඇය සඳැල්ලට එක්වූයේ මෙලෙසිනි.
උරේෂා කොහොමද ඔබගේ ආදර කැදැල්ල?
ගොඩාක්ම සතුටින් සහ සාමකාමීව ගත කරන බව කියන්න පුළුවනි. හොඳ මවක්, බිරිඳක් වගේම හොඳ ගෘහණියක් කියලත් හිතෙනවා.
හොඳට රසට උයන්න පුළුවන් කියලත් ආරංචියි?
අපේ සිංහල කෑම හොඳ රසට උයන්න පුළුවනි. අම්මා තමයි මට ඉගැන්නුවේ. ඉන්පස්සෙ අත්දැකීම් එක්ක ඒ සූපශාස්ත‍්‍රය මමම වැඩිදියුණු කරගත්තා. මම උයන කෑම රසයි කියලා අපේ තාත්තා සහ මගේ සැමියා වර්ණනා කරනවා.
සැමියාගෙ අද දවසේ කටයුතු මොනවගේද?
සැමියා රුචිර නදීර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කරනවා. එයාගේ රාජකාරි වෙනුවෙන් කාර්යබහුලයි. නමුත් නිතර මගේ කලා කටයුතු සහ සංගීත කටයුතුවලට උදව් වෙනවා.
පුංචි පුතා?
එයාගෙ සුරතල් බල බලා ඒවා අත්විඳිමින් තමයි කාලය ගත කරන්නෙ. දැන් පුතාට අවුරුදු දෙක හමාරක් විතර වෙනවා. එයාගෙ නම සසෙන් ප‍්‍රවිවේක්.
එයා මොනවටද දක්ෂයි කියලා හිතන්නෙ?
එයා ගීත අහන්න හරිම ආසයි. කෑම කවන වෙලාවට පවා ගීත අහනවා. මගේ ගීතයක් ඇහෙද්දි ”අම්මා අම්මා’’ කියලා කියනවා. මගේ හඬ එයාට හොඳට දැනෙනවා. සංගීතයට හරි පුදුම කැමැත්තක් තියෙන්නෙ.
ඇයි පසුගිය කාලයේදී ඔබ පුතා එක්ක ඡුායාරූපවලට සහ පුවත්පත් සාකච්ඡුාවලට පෙනී නොසිටියේ?
ගෘහණියක් ලෙස පුද්ගලිකත්වයට ගොඩාක් ආසා කෙනෙක් මම. සාමාන්‍ය ජීවිතයේදී පවා එහෙමයි. මම ලෝකයට යන්නෙ ගීත ගායනයෙන්. සාමාන්‍ය ජීවිතය පටලවාගෙන අවට ලෝකයට යන්නවත් ජනප‍්‍රියත්වය සොයා යන්නවත් මම කැමති නැහැ.
අද දවසේ ඔබ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත‍්‍රයේ විශේෂ වී සිටින්නේ චිත‍්‍රපට පසුබිම් ගායන ශිල්පිනියක ලෙසයි. එහි ප‍්‍රමුඛ තැනකට ඇවිත්. ඔබ ඒකට කැමතිද?
ඇත්තටම පුද්ගලිකව මම ඒකට කැමතියි. එක් එක් ශිල්පිනියන් එක් එක් විදියට වර්ගීකරණය වෙනවනෙ. චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ මගේ හඬට වැඩි අවස්ථාවක් ලැබුණා. නමුත් මට ලැබුණු වාසනාව සෑම වර්ගීකරණයක් ඇතුළෙම සිටීම. එළිමහන් ප‍්‍රසංග, ගෘහස්ථ ප‍්‍රසංග, ටෙලිනාට්‍ය ගීත, වෙනත් ප‍්‍රාසාංගික අවස්ථා ඒ ආදී සෑම අංශයටම දායක වෙනවා. එයත් එක්තරා විදියක විශේෂත්වයක්.
ඒ, ඒ අවස්ථාවලදී ඔබ ගයන ගීතත් වෙනස්ද?
අනිවාර්යයෙන්ම ඔව්. ඒ ප‍්‍රසංග ස්වරූපය අනුව ගීත රිද්මයේ වෙනසක් කළ යුතු වෙනවා.
ඉස්සර උරේෂා හිංදි ගීත ගැයුවා. අද හිංදි ගීත ගයන්නෙ නැද්ද?
අදටත් ගයනවා. හැබැයි රූපවාහිනී වැඩසටහන්වලදී විශේෂ ඉල්ලීමක් ලැබුණොත් විතරයි.
අද දවසේ රසිකයින් වැඩිපුර ඔබට ගයන්න කියන්නෙ මොන ගීතද?
ඉස්සර ඉඳලාම කොහේ ගියත් ”? යාමේ මේ සාදයේ” ගීතයට විශේෂ ඉල්ලීමක් තිබුණා. එය අදටත් එහෙමයි. ඒක එළිමහන් ප‍්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගීතයක්.
ඔබ මෙතෙක් ගැයූ ගී අතරින් වඩාත් කැමති ගීතය මොකක්ද?
සෑම ගීතයක්ම මම ගායනා කළේ බොහෝම ගෞරවයෙන් සහ ආදරයෙන්. ඒ නිසා ඒ සෑම ගීතයකටම ආසයි. ඒ සියල්ල විඳිමින්, ඒවා ඇතුළෙ සිටිමින් ගායනා කළ ගීත. සිනමා ගීත ක්ෂේත‍්‍රය දෙස බැලූවොත්, උන්නා එක ගංගාවක, ගීතය මාව අපූරු මාවතකට යොමු කළා. ඉන්පසුව ”පායනා ඉර පාන වාගේ” තවත් ආලෝකයක් වුණා. ඒ වගේම පසු කලෙක වලාකුලක පාවෙන්නට, සමනල් හැඟුමන් අතරේ, ජල දහරාවේ ගීතය ඇතුළු ගීත විශේෂිත වුණා. වෙසෙසින්ම සිනමා ගීතයේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය යටතේ නිරන්තරයෙන් ගැයුමට අවස්ථාව ලැබුණා. එය අපූරු ගැලපීමක් වුණා.
ඔබ රස විඳින්නෙ කාගේ ගීතද?
හැමෝගෙම ගීත රස විඳිනවා. කාගේ හෝ එක් ගීතයකට හරි ආසා කරනවා. නමුත් සුජාතා අත්තනායක, ලතා වල්පොල, ඇන්ජලින් සහ නන්දා මාලිනිය වැනි ප‍්‍රවීණ ශිල්පිනියන්ගෙ මම ආසාම කරන ගීත ගොඩක් තියෙනවා. ඒ වගේම ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි සහ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගීතවලට හරිම ආසයි.
ඒ අතරින් ඔබගෙ ප‍්‍රියතාවයේ ඇති ගීත කීපයක් ගැන සඳහනක් කළොත්?
වික්ටර් රත්නායකයන්ගේ ”අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්’’ ගිගිරි ගීත රාවේ, තනි වෙන්නට මගේ ලොවේ, දෛවයෝගයකින්, මිල්ටන් ගැයූ සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්, ගේ‍්‍රෂන් ආනන්දගේ සවසට පායා, විශාරද නන්දා මාලිනියගේ දෙනෝදාහක් නුවන් අතරේ, යොවුන් වසන්තයේ, ඒ වගේ ගොඩාක් ගීත තියෙනවා.
ඔබ විරහාව අත්විඳලා තියෙනවාද?
ඔව්, නැහැ කිව්වොත් ඒක බොරුවක්. නමුත් ඒ විරහාවේ එල්බගෙනම ඉඳලා නැහැ. ආදරය දුක දැනිලා තියෙනවා. මගේ අත්දැකීම්වලට වඩා ගායිකාවක ලෙස ග‍්‍රහණය කරගත් අවස්ථා තියෙනවා. මේ ආදරය කියන දේ කොහොමද ගීතය වෙතින් ඉදිරිපත් කරන්නෙ කියන දේ ගැන හිතලා තමයි ගීත ගැයීමේදී මගේ උපරිම දායකත්වය ලබාදෙන්නෙ.








