‘මග පෙන්වීමකින් තොරව පාසල් සිසුන්ට ටැබ් දෙන්න එපා‘


(බිඟුන් මේනක ගමගේ )

සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධවලට වැඩි වශයෙන් සම්බන්ධ වී ඇත්තේ පාසල් වයසේ සිසුන් යැයිද , එනිසා නිසි මගපෙන්වීමකින් තොරව ඔවුන්ට ටැබ් පරිගණක දුන්නොත් එය පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් වනු ඇතැයි  රජයට අවධාරණය කරන්නේ යැයි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමට උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම හොඳ ක්‍රියාවක් වුවත් කිසිදු මගපෙන්වීමක් නැතිව ටැබ් යන්ත්‍ර ලබාදීමෙන් සිසුන්ට පරිගණක දැනුම ලැබෙන්නේ නැතැයි ද එම නිවේදනයේ සඳහන් වේ. 

ඒ අනුව අන්තර්ජාලය යහපත් ආකාරයෙන් භාවිතය හා පරිගණක වැඩසටහන් මගින් එදිනෙදා වැඩකටයුතු සිදුකරගැනීමට සිසුන්ට ඉගැන්විය යුතු යැයි ද එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පවසයි. 

මෙරට පරිගණක ආශ්‍රිත නව කර්මාන්ත ආරම්භ කිරීමට පරිගණක පිළිබදව දැනුම ඇති ශ්‍රමිකයන් නොමැති වීම බරපතල ගැටලුවක් බව අගමැතිවරයා තණමල්විල ප්‍රදේශයේ පාසැලක උත්සවයකට සහභාගීවෙමින් සිදුකළ ප්‍රකාශය වැරැදි යැයි ද එවැනි ප්‍රකාශ නිසා ජාත්‍යන්තර සමාගම්වලට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිලිබදව වැරදි අර්ථකතනයක් සන්නිවේදනය වන්නේ යැයි ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මෙරට ඉතා දක්ෂ පරිගණක දැනුමක් සහිත ශ්‍රමිකයන් පිරිසක් සිටින්නේ යැයි ද ඔවුන් දැවැන්ත විදේශ සමාගම්වල කීර්තිය දිනාගනිමින් මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ඒමට සමත්වී ඇතැයි ද එම සංගමය සඳහන් කරයි. 

එම නිසා කිසිවිටෙකත් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කිසිවිටෙක අවතක්සේරු නොකරන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.