‘බෝම්බ දාන්නේ නැතිනම් පාර්ලිමේන්තුව ගිලෙන්ඩ ඕනෑ‘ - විමල්


චන්දන ප්‍රනාන්දු
 
ජනතාවගේ සල්ලි නාස්ති කරන පාර්ලිමේන්තුවට කවුරු හරි උඩින් ඇවිත් බෝම්බ දමන්නේ නැතිනම් භූමි කම්පාවක් ඇවිත් ගිලිලා යා යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
 
ඔහු මේ බව පැවසුවේ පුත්තලමේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
 
‘මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබුණේ නෑ. එහෙම බහුතරයක් නොලැබුණු ආණ්ඩුවක පාර්ලිමේන්තුවට කැමති කැමති දේවල් කරන්න ජනතාව බලයක් දුන්නේ නෑ. ඒත් අද වෙද්දි මේ රට විනාශය කරා ගෙන යන්නට ඒ පාර්ලිමේන්තුවම වංචනික ලෙස යොදා ගැනිම වැලැක්වීමට හැකි හැමදෙයක්ම අපි කරනවා.  අපි ඒකයි කීවේ රටට බලපාන අහිතකර ව්‍යවස්ථාවක් ගෙනත් තිබෙන වෙලාවක ඒකට එරෙහිව කිසිම දෙයක් කරන්න බැරිනම් ඒක වලක්වන්න බැරිනම් මේ පාර්ලිමේන්තුව දත් නැති කටක් වගේ කියලා.  දත්නැති කටට අපි කියන්නේ ලොම්බ කටවල්. 
 
 මේ කටෙන් ප්‍රයෝජනයක් ගන්න නම් එක්කෝ මේ කටට අලුත් දත් සෙට් එකක් දාන්න ඔනෑ.  එහෙම නැත්නම් කිසිම වැඩක් ගන්න බැරිනම් ලොම්බ කටක් ලෙසම තියා ගන්න ඔනෑ.  ඒත් ඉතින් කෝටි ගණන් ජනතා මුදල් ගිලදාමින් වැටුප් දීමනා ගන්න පාර්ලිමේන්තුවේ ජනතාවට වගකියන ජනතා නියෝජිතයන් මේ අහිතකර අවස්ථාවේ එයට එරෙහිව වැඩ කරන්නේ නැත්නම් රටට බලපාන අහිතකර නීති එද්දි ඒක වලක්වන්න සම්මත කරන්න බැරිනම්  මිනිස්සු ජන්දේ දීලා පාර්ලිමේන්තු එවුවේ මොන කෙන්ගෙඩියක්  කරන්නද?  එහම දෙයක්වත් කරන්න බැරි පාර්ලිමේන්තුවක් ඇයි හත්වලාමේ තියාගෙන සල්ලි නාස්තිකරන්නේ? මේකට එක්කෝ කවුරු හරි උඩින් ඇවිත් බෝම්බ දාන්න ඕනෑ.  එහෙම නැත්නම් භූමි කම්පාවක් ඇවිත් ගිලිලා යන්න ඕනෑ.‘