‘බී‘සාමර්ථය වසර පහකට පසු ‘ඒ‘සාමර්ථයක් වෙයි


(තරිදු ජයවර්ධන)

ශ්‍රේෂ්ඨාධිකරණ  නියෝගයක් අනුව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය ඇගයීමට ලක් කළ කොළඹ විශාඛා විද්‍යාලයේ   සිසුවියට පෙර ලබා දී තිබූ ‘බී‘ සාමාර්ථය වෙනුවට  ‘ඒ ‘ සාමාර්ථයක්   ලැබී ඇතැයි  බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
 

මුල්ලේරියාවේ පදිංචි  මුදලිගේ දෝන කවිතා සඳමිණි වීරසිංහ නැමැති සිසුවියකට වසර 5 කට පසු  මෙම නව ඒ සාමාර්ථය හිමි වී තිබේ.

2013 වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇයට එම වසරේ ප්‍රතිඵලය ලෙස  ඒ සාමාර්ථ 8 ක් සහ බී සාමාර්ථයක් ලැබී තිබිණි. නමුත් එම බී  සාමාර්ථය ‘ඒ‘ සාමාර්ථයක් ලෙස වෙනස් විය යුතු බවට සඳහන් කරමින්  ඇය  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය .
 
වසර 5 ක් පුරා පැවැති නඩුවේ තීන්දුව 2019 ජනවාරී 16 වැනිදා ප්‍රකාශයට පත් කළ අතර  ඇයගේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය යළි ස්වාධින කමිටුවක් හරහා   ඇගයීමකට ලක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
 
ඒ අනුව  විභාග කොමසාරිස් ජනරාල්වරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් 3012513  දරණ විභාග අංකය යටතේ 2013 වසරේදී  විභාගයට පෙනී සිටි ඇයගේ  ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය යළි  පිරික්සු අතර එමගින්  මීට පෙර ඇයට ලබා දී තිබු බී සාමාර්ථය ඒ සාමාර්ථයක් ලෙස  සංශෝධනය වු බව විභාග කොමසාරිස්වරයා දන්වා  තිබේ.

 
ඒ අනුව ඒ සාමාර්ථ නවයක් සහිත ඇගේ සංශෝධිත  විභාග ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුව මගින්  ඇයට යවා තිබේ.