( කාංචන කුමාර ආරියදාස)
ඉපලෝගම බැලුම්ගල ප්‍රදේශයේ සිදුකර ඇති පුරාවිද්‍යා හානිය පිළිබඳව ඊට සම්බන්ධ සියලූ දෙනාට තරාතිරම නොබලා වහාම පුරාවිද්‍යා පනත අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව විෂයභාර අමාත්‍ය නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා අද (18) දින පෙරවරුවේ නිලධාරී කණ්ඩායමක් සමඟ ඉපලෝගම විජිතපුර ප්‍රදේශයේ පිහිටි බැලුම්ගල නැමැති පුරාවිද්‍යා ස්ථානයේ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියාසිටියේ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරිය කිසිඳු සොයා බැලීමකින් තොරව මෙම ඉඩම් නිවාස ව්‍යාපෘතිය සදහා ලබාදී ඇති බවත් සිදුකළ නිරීක්ෂණ වලදී හෙළිවී ඇති බවයි.
මේ ස්ථානය ජනතාවට දැක බලා ගැනීමට හැකි වන පරිදි සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
රට පුරා සිදුකෙරෙන පුරාවිද්‍යා ස්ථාන පුරාවස්තු හානිය පිළිබඳව ජනතාවට දැනුම් දීම සඳහා හදිසි දුරකථන අංකයත් ළඟදීම ලබාදීමට අමාත්‍යාංශය පියවර ගන්නා බවද ඇමැතිවරයා මෙහිදී විශේෂයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ නිවාස සංවර්ධන අධිකාරිය මඟින් නිවාස 50 ක් ඉදිකිරීම සඳහා මෙම භූමිය තෝරා ගෙන පසුව බර යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ඉඩම් හෙළි පෙහෙළි කිරීමේ දී පුරාවස්තූන් මෙයාකාරයෙන් විනාශ වී තිබිණි .අනුව පසුගිය දින කිහිපයේම මේ පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමඟ රජයේ අවධානය යොමු වී තිබීම විශේෂත්වයකි.
විෂයභාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙම ස්ථානයට පැමිණෙන විටත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයේ නිරීක්ෂණය කරමින් තිබීම ද විශේෂත්වයකි.
පසුව එස්. එම්. චන්ද්‍රසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා සමග එම ස්ථානයේ නිරීක්ෂණ කටයුතුවලට එක්ව සිටිනු දැක ගැනීමට හැකියාව ලැබිණි.
පසුව මාධ්‍ය අමතමින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ තමා අමාත්‍යාංශය විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාල ප්‍රාදේශීය අදාළ ප්‍රාදේශීය ලේකම්වරිය සහ වසම භාර ග්‍රාම නිලධාරියා අතින් මෙහි බරපතළ වරදක් සිදුව ඇති බව ය.
එමෙන්ම නිවාස සංවර්ධන අධිකාරිය ලබාදුන් සීමාව ඉක්මවා ගොස් පුරාවිද්‍යා ස්ථාන වලට ඇතුළු වී මෙම ඩෝසර් කිරිම සිදු කර තිබෙන බව බවද එම නිසා මෙම හානිය සිදුවී ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.
එමෙන්ම පුරාවිද්‍යා නීති අණපනත් යටතේ ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට මේ පිළිබඳව වගකිය යුතු සියලූ තැනැත්තන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදෙන බව ද ඇමතිවරයා කියා සිටියේය.
පුරාවිද්‍යා උරුමයන් යනු රටේ සෑම පුරවැසියකුගේම අයිතිවාසිකමක් බැවින් පුරාවිද්‍යා ස්ථානයකට හානි කිරීමේ චේතනාවකින් හානි සිදු කරලා තිබුනොත් තරාතිරම නොබලා ජාතිය ආගම පාට පක්ෂ නොබලා භාෂාව නොබලා නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට උපරිම දඬුවම් ලබා දීමටත් කිසිදු අයෙකු කෙරෙහි අනුකම්පාවක් දැක්වීමට ඉඩ නොදෙන බවද සඳහන් කළේය.
මෙම ස්ථානය 1925 වසරේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී පුරාවිද්‍යා ස්ථානයක් බවට නම් කොට තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී මෙම ස්ථානය ජනතාවට දැක බලා ගැනීම සඳහා සංරක්ෂණය කටයුතු ආරම්භ කරන බවද ප්‍රකාශ කළේය. එමෙන්ම ඉදිරියේදී පුරාවස්තු වලට හානි කරන පුද්ගලයන් පිළිබඳව දැනුම් දීම සඳහා කෙටි දුරකතන අංකයක් ජනතාවට හඳුන්වා දීමට තමා අමාත්‍යාංශය ක්‍රියාත්මක වන බව ඇමැතිවරයා සඳහන් කළේය.
මේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් .එම් . වන්නිනායක මහතා ද එක්ව සිටියේය. පසුව අප දිස්ත්‍රික් ලේකම් වරයාගෙන් මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරියට සහ ග්‍රාම නිලධාරීවරයාට මේවනවිට ස්ථාන මාරු ලබා දී විනයානුකූල කටයුතු සිදුකරමින් පවතින බවය.
එමෙන්ම මෙම ස්ථානයට උතුරු මැද පළාත් භාර පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී. එම් .කේ. බී. දිසානායක මහතාද පැමිණ සිටියේය .ඒ මහතාගෙන් විමසීමේදී කියා සිටියේ දැනට දින පහළොවකට පෙර ඉපලෝගම පොලිසියට පුරාවිද්‍යා ආඥා පනත යටතේ මෙයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවත් පැමිණිල්ලේ ඉදිරි කටයුතු පිළිබඳව තමන් නොදන්නා බවය. ඒ පිළිබඳව පොලිසියෙන් විමසිය යුතු බවද සඳහන් කළේය. තමන් තවත් විශේෂ පැමිණිල්ලක් 18 ඉපලෝගම පොලීසිය වෙත ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.
උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත මහතාද එම ස්ථානයේ සිටි නිසා අප පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සඳහන් කළ චෝදනාව පිළිබඳව විමසුවෙමු. නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හරහා ප්‍රකාශය ලබා ගන්නා ලෙසත්ය.