ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කවුරුන් මොනවා කීවත් තමන් අවනත විය යුත්තේ තමන්ගේ හෘද සාක්කියට පමණක් යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වු අවස්ථාවේදී රැස්වීම ආරම්භයේදීම කතානායක නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා එසේ පැවසීය.
කතානායකවරයා මෙසේ කීය.
බැඳුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුළත් පිටස්තරවත් ප්‍රකාශ වනු ඇතැම් කරුණු හා වාර්තා ගැන කතානායකවරයා වශයෙන් පැහැදිලි කිරිමක් වහා කළ යුතු බව මාගේ හැඟීමයි.
අසත්‍ය,ගොතන ලද සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වුණු හා ප්‍රකාශ වෙන විවිධ අදහස් නිසා සියලුම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ටත්,පාර්ලිමේන්තුවටත්, පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශාල කැලලක් ඇතිවී තිබෙන බව සඳහන් කරන්නේ බලවත් සංවේගයෙනි.
කවුරුන් හෝ ගොතන ලද අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩිකර ඉන් නොනැවතී සිවිල් සමාජයේ පිළිගත් චරිත කීපයකටද අසාධාරණ ලෙස පරිභව කරමින් සීමාවක් නොමැතිව කෙරෙන මෙම පදනම් විරහිත චෝදනා නවතන ලෙස පිළිගත් මාධ්‍යයද ඇතුළුව සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
බැඳුම්කර වාර්තාවලට ඇතළත් විය යුතු සියලු අදාළ ලිපි ලේඛන සියල්ල මා වෙත කඩිනමින් ලබා දෙන ලෙස ජනාධීපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු දිවයිනට පැමිණි විගසම නිතිපතිවරයාගේ හා පොලිස්පතිගේ සහයෝගයෙන් අදාළ සියලු ලියකියවිලි පාර්ලිමේන්තුවට ලැබෙනු ඇත.
මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊඨ වගකිව යුතු සියලු අංශ විසින් මා දැනුවත් කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් 25 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පැතිරුණ ආරංචියද සම්පුර්ණයෙන් ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවට පොලිසිය මා වෙත දන්වා ඇත.