‘බස් හිමියන් මාසයකට කෝටි 20 ක් කප්පම් ගෙවනවා‘


(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටී තිබියදීත් මාසයකට රුපියල් කෝටි 20 ක පමණ මුදලක් කප්පම්කරුවන්ට  ගෙවීමට  බස් හිමියන්ට සිදුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

දිවයිනපුරා තිබෙන පෞද්ගලික බස්රථ 20,000 කින් පමණ නිල සහ නිල නොලත් ආකාරයට කප්පම්කරුවන් මෙලෙස කප්පම් මුදල් අයකරන බවද ඔහු කීවේය.

බස්රථවල ආදායමෙන් සියට 25 ක පමණ ප්‍රමාණයක් මේ හේතුවෙන් බස් හිමියන්ට අහිමි වී යන බවද විජේරත්න මහතා කියා සිටියේය.

පාතලය සහ කුඩු වැටලීම් කරන ආකාරයට බස් කප්පම්කරුවන් මර්දනය කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද විජේරත්න මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව ආර්ථිකමය දුෂ්කරතාවයන්ට පත්ව ඇති අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ දමන්නැයි බස් හිමියන් රජයෙන් කිසිඳු ඉල්ලීමක් සිදු නොකරන බවද ඔහු සඳහන් කළේය.

ඒ වෙනුවට බස් ගාස්තු විෂමතා ඉවත් කර බස් කර්මාන්තයේ ගැටලු විසඳන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.