(විනීතා එම් ගමගේ)
‘බදු ගහන්නේ නැත්නම් පෙට්‍රල් ලීටරය රුපියල් 90 කට දෙන්න පුළුවන් බව ඉතාම වගකීමෙන් ජනතාවට කියන්න කැමතියි‘ යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උයද ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
තවමත් තීරු බදු, දේශීය භාණ්ඩ බදු, වරාය සහ ගුවන් සේවා බදු සහ ජාතිය ගොඩ නැගීමේ බදු වශයෙන් කෝටි 8,000 ක් පමණ ආණ්ඩුව උපයා ගන්නා බව ද ගම්මන්පිල මහතා හෙළි කළේය.
තෙල් මිළ ඉහළ දැම්මේ තෙල් මත අධික බදු බරක් පටවලා තිබෙන නිසා මිස මිළ වැඩි වීමේ ප‍්‍රශ්නයක් නිසා නොවන බව රවි කරුණානායක මන්ත‍්‍රි තුමා ඉතාම නිවැරදිව සඳහන් කළේ යැයි ද හෙතෙම කීවේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය.
‘‘මේ දවස් වල ආණ්ඩුවේ මැති ඇමතිවරු ගිරව් වගේ කියන කතාවක් තිබෙනවා. අපි තෙල් මිළ වැඩි කළත් තවමත් මහින්ද යුගයට වඩා ලාභයිනෙ. ඒ නිසා පොහොට්ටුවේ අයට අයිතියක් නෑ තෙල් මිළ විවේචනය කරන්න කියා ඔවුන් කියනවා. මේක පදනම් විරහිත කතාවක්.
මේ ආණ්ඩුව මැයි 11 දින පෙට්රල් ලීටරයක මිළ රු 137ක් කළා. ඊට කලින් මාසයේ ඒ කියන්නේ අපේ‍්‍රල් මාසයේ ලෝක වෙළඳ පොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 67යි. මීට පෙර රු 137 දක්වා පෙට්‍රල් ලීටරයක මිළ වැඩි කලේ 2011 සැප්තැම්බර් 30 දා. ඊට පෙර මාසයේ ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිළ ඩොලර් 100යි.
අපි 137 දක්වා වැඩි කරන්නේ ලෝක වෙළඳපොලේ ඩොලර් 100 ට තෙල් බැරලය විකුණන විට. මේ ආණ්ඩුව ඩොලර් 67 වුණාම රු 137ක් කළා. මහින්ද යුගයේ රු 150ට පෙට්රල් දුන් බව ඇත්තයි. එදා තෙල් බැරලයක මිළ තිබුණේ ඩොලර් 100ත් 110ත් අතර. මහින්ද යුගයේ දී වගේ ලෝක වෙළඳපොලේ තෙල් මිළ ඉහළ ගියා නම් මේ ආණ්ඩුව අද වන විට පෙට්‍රල් ලීටරයක මිළ රු 200ක් කරලා. ඒනිසා හරියට ඉතිහාසය දන්නෙත් නැතුව ගණන් හදන්න දන්නෙත් නැතුව කට මැත දොඩවන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.