‘බද්ද වැඩි නිසා තෙල් මිල අඩු කරන්න බැහැ‘


(දිල්රුක්ෂි ග්‍රේරු)
 
තෙල් වලට බදු පැනවීම නවතා දැමුවහොත් තෙල් මිල අඩු කළ හැකි බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  පවසයි.


ඛනිජ තෙල් ව්‍යාපාරයෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට  කිසිදු පාඩුවක් නොමැති බවත් සුළු ලාභයක් තබාගෙන ජනතාවට සාධාරණය ඉටු කිරීමට හැකියාව තිබුණද මෙම තෙල් මත බදු පැනවීමෙදී  එලෙස අඩු මුදලට තෙල් විකිණිය නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


එහෙත් මෙම බදු මුදල ඉවත් කිරීම සිතු පමණින් කළ නොහැක්කක් වන්නේ රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් එය ඉතා අත්‍යවශ්‍ය නිසා යැයිද  එම හේතුව නිසා අකමැත්තෙන් වුවද කැබිනට් මණ්ඩල රැස්වීමෙදී තෙල් මිල වැඩි කිරීමට එකඟ වීමට සිදු වු බවද අමාත්‍යවරයා පැවසීය.


ඉන්ධන මිල වැනි සංවේදී විෂයක් ගැන තීරණ ගැනීමේදී සැම විටම ජනතාවගේ පැත්තෙන් සිතා තීරණ ගත යුතු අතර ජනතාව කිසිදු අයුරකින් නෙසලකා හැරිය යතු නෙවෙන බවද  ලාභ ලබන ආයතනයක් ලෙස නොව වැඩියෙන් මහජන සේවා සපයන ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 


පෙරට වඩා මේ දිනවල බොරතෙල්හි මිල  ඉහළගොස් ඇතැයිද  ඉදිරියේදී ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල පහළ යනු ඇති බව තමා විශ්වාස කරන බවත් පැවසු අමාත්‍යවරයා   ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අනුව දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමේ වගකීම මේ වන විට මුදල් අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාරයට භාර දී ඇති බව සඳහන් කළේය.


ඉන්ධන මිල වැඩි වන විට හා මිල අඩුවන විට සෙසු භාණ්ඩවල සහ සේවාවල මිල ගණන් පහළ බසිනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.