‘පොහොට්ටුව සමඟ සන්ධානගත වී ජනාධිපතිවරණයට සූදානම් වෙනවා’


(ඩයනා උදයංගනී)

           

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා කඩිනමින් අවසන් කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීමට රැස් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරුණු බව එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

තව මාස කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් කඩිනමින් සන්ධානයක් ගොඩනගා එහි ඡන්ද ලකුණ හා ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කිරීමත් කළ යුතු බව මහලේකම්වරයා කීවේය.

ඒ අනුව මෙම සාකච්ඡා සති දෙක තුනකින් අවසන් කර ඉදිරි පියවර ගැනීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව මගින් බලය දී තිබෙන බව කී දයාසිරි ජයසේකර මහතා පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීම සඳහාත් මෙම සාකච්ඡා වේගවත් කළ යුත බව සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා විය යුතුය යන්න ශ්‍රී.ල.නි.පයේ ස්ථාවරය වුවත් තවම ස්ථිර තීරණයක් ගෙන නැතැයි කී මහලේකම්වරයා කඩිනමින් අපේක්‍ෂකයකු නම් කරගෙන මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි ද ප‍්‍රකාශ කළේය.

 එමෙන්ම තනතුරු බෙදීමේදී දෙපාර්ශවයට සාධාරණයක් වන අයුරින් කරන්නේ කෙසේද ජනාධිපති අගමැති තනතුරු දෙපාර්ශවය අතර සාධාරණ ලෙස බෙදී යනවා ද ආදිය ගැන ඉදිරියේදී සාකච්ඡා කළ යුතු බව ජයසේකර මහතා කීවේය.

දෙපාර්ශවය අතර සාකච්ඡා ඉක්මන් කරනවා නම් මීළඟ සාකච්ඡාව ජූනි 7 වැනිදා දක්වා කල් ගියේ ඇයි දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ තමාට විවාහ උත්සව කිහිපයකට සහභාගීවීමට තිබෙන බැවින් එසේ කිරීමට සිදුවූ බවයි.