(අංජුල මහික වීරරත්න)
කොටි ත්‍රස්තවාදීන් ඔවුන්ගේ අවසාන කාලයේදී කළ අයුරින්ම පොහොට්ටු කල්ලිය ද ජනතාව පළිහක් කරගෙන තම පටු අරමුණු ඉටුකර ගැනීමේ දියාරු උත්සාහයක නිරතවන බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී අද (5) පැවසීය.
ජනතා මුදල් කොල්ල කෑ සොරුන්ට එරෙහි නඩු විභාගයක් ඇරැඹී ඇති බැවින් ඒවාට මුහුණදීමට නොහැකි සොරුන් පිරිවර ජනතා පළිහක් නිර්මාණය කරගෙන ආරක්ෂා වීමට කල්පනා කරමින් සිටින බව ද අමාත්‍ය අකිල විරාජ් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
වෙනත් රටවල් ආණ්ඩුවලට විරුද්ධව පෙළ ගැසෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ විට බව කී අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ රජයකට එරෙහිව පෙළ ගැසෙන අරමුණ ජනතාව සිහි බුද්ධියෙන් තේරුම්ගත යුතුව ඇතැයි ද අවධාරණය කළේය.

