‘පොලිසියට ඇඟ බේරාගන්න බෑ‘


ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දා ත්‍රිකුණාමල නගරයේ විරෝධතාවයක නිරත වූ පිරිසට පහරදීමට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය පවසයි.

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීමෙන් මූලික අයිතිවාසිකම් භුක්ති විඳින්නට සෑම ජන කොටසකටම තිඛෙන අයිතිය ජාත්‍යන්තරය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන්නේ යැයි ද එය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානිකර යැයි ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම පරීක්ෂණයක් පැවැත්වෙන බව පමණක් පවසා ඇඟ බේරාගන්නට පොලිසියට හැකියාවක් නැතැයි ද එම සංවිධානය වැඩිදුරටත් කියාසිටී.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරුවන් වන ලාල් විජේනායක, චන්ද්‍රපාල කුමාරගේ, ජේ.සී.වැලිඅමුණ හා කේ.එස්.රත්නවේල් යන  ජ්‍යෙෂ්ඨ නීතිඥයන් මෙම නිවේදනයට අස්සන් තබා ඇත.