‘පොලිස්පතිවරයාට පමණක් චෝදනා කිරීම සාධාරණ නෑ‘


 ( නාලක සංජීව දහනායක)

රටේ ස්ථාන කිහිපයකදී බෝම්බ පුපුරායා හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පමණක් චෝදනා කිරීමේ කිසිදු සාධාරණ නොවන බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (23) පැවැසීය.

එවැනි ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ විසින් වාර්තාකළ විට  ආරක්‍ෂක අංශවලට අවශ්‍ය උපදෙස් ලබා දීම දේශපාලන අධිකාරිය සතු කාර්යයක් බවද ෆොන්සේකා මන්ත‍්‍රීවරයා කීය.

එහිදී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.

රටේ බුද්ධි අංශ කඩාවැටීම එක සැරේටම සිදුවූ දෙයක් නොවන බවකී ෆොන්සේකා මන්ත‍්‍රීවරයා 2009න් පසුව බිහිවූ සියලූම රජයන් ඒ සම්බන්ද වගකීම භාරගත යුතු යැයිද කීය. 2009 වසරට පෙර මෙවැනි බුද්ධි තොරතුරක් ලැබුනේනම් ඉතාම වේගයෙන් ක‍්‍රියාත්මකවන බවකී ෆොන්සේකා මන්ත‍්‍රීවරයා ඒ සදහා ක‍්‍රියාත්මකවිම සදහා අවශ්‍ය ආරක්‍ෂක යාන්ත‍්‍රණයද මැනවින් සකස්කර තිබූ බව ද කීය.

වර්තමානයේදී එම ආරක්‍ෂක යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක නොවීම සම්බන්දයෙන් නිදහසට කරුණු නොකියා ඒ සම්බන්ද වගකීම දේශපාලන අධිකාරිය  විසින් බාරගත යුතු යැයිද කීය. ආරක්‍ෂක අංශ සෑම විටම ක‍්‍රියාත්මක වන්නේ දේශපාලන අධිකාරියේ උපදෙස් මතයැයි කී සරත් ෆොන්සේකා මන්ත‍්‍රීවරයා බුද්ධි තොරතුරු ලැබී තිබුණද මෙහිදී ක‍්‍රියාත්මකවීම සදහා අවශ්‍ය උපදෙස් දේශපාලන අධිකාරියෙන් ලැබී නැතැයිද පැවැසීය.

එල්.ටී.ටී.ඊ සංවිධානයට මාරගෙන මැරෙන බෝම්බකරුවකු නිර්මාණය කිරීමට අවුරුදු 12ක් ගතවූ බව මෙහිදී පැවැසී ෆොන්සේකා මන්ත‍්‍රීවරයා මෙම අන්තවාදී සංවිධානයද වසර ගණනක් තිස්සේ ක‍්‍රියාත්මක වන්නට ඇතැයිද කීය. යුද්ධය අවසන්වූ පසුව මහාපරිමාන බුද්ධි අංශයක් සැකසිය යුතු බවට හමුදාපතිවරයා ලෙස තමන් යෝජනා කළද එවැන්නක් සිදුනොවූ බවද සරත් ෆොන්සේකා මන්ත‍්‍රීවරයා සදහන් කළේය.  

ගෙවල් වැටලීමෙන් හෝ ආරක්‍ෂක අංශ මහපාරේ සිටුවා තැබීමෙන් ඇතිවී තිබෙන තත්ත්වය මර්ධනය කළ නොහැකි බව පැවසූ සරත් ෆොන්සේකා මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රශ්නය විසදිය හැක්කේ බුද්ධි අංශ ශක්තිමත් කිරීමෙන් පමණක්ම යැයිද කීය. බුද්ධි යාන්ත‍්‍රණය ශක්තිමත් කළද මෙම ප‍්‍රශ්න විසදීමට අවම වශයෙන් අවුරුදු තුන්කවත් ගතවනු ඇතැයිද ෆොන්සේකා මන්ත‍්‍රීවරයා කීය.

ප‍්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළේය.