‘පොලිස්පති භාවනා වැඩමුළු තියද්දී පතාලෙන් මනුෂ්‍ය ඝාතන කරනවා’


නාලක සංජීව දහනායක
 

පොලිස්පතිවරයා පොලීසියට භාවනා වැඩමුළු පවත්වන විට විදෙස් ගත පාතාල නායකයන් මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, කප්පම් ගනිමින් දුරකථනය ඔස්සේ රට පාලනය කරන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා අද (21) පැවසීය.


මෙම තත්ත්වය පාලනය කර නීතිය හා සාමය ස්ථාපිත කිරීමට පොලීසිය ක්‍ෂණිකව ක‍්‍රියාත්මක විය යුතු බවද මන්ත‍්‍රීවරයා කීය.


මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


ත‍්‍රස්තවාදී යුද්ධයට මුහුණ දෙමින් තවත් නොයෙකුත් අර්බුදවලට මුහුණ දෙමින් ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන ගියා. ණය අරගෙන රට සංවර්ධනය කළා. හැම ගමකම ඒ සංවර්ධන ව්‍යාපෘති දකින්න තියෙනවා. නමුත් මේ ආණ්ඩුව සීමාවක් නැතුව ණය ගන්නවා මිස කරන දෙයක් නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව කටයුතු කිරීම නිසා රුපියල ඔහේ පාවෙනවා. රුපියල අවප‍්‍රමාණය වීම නිසා රටේ ණය බර රුපියල් බිලියන 826 දක්වා ඉහළ ගිහිල්ලා. 2014 වසරෙදි රුපියල් ට්‍රිලියන 1 වූ රාජ්‍ය ආදායම මේ වනවිට රුපියල් ටි‍්‍රලියන 2ක් දක්වා සියයට සියයක් දක්වා ඉහළ ගිහිල්ලා. ජනතාව බදු බරින් මිරිකිලා. රටේ සංවර්ධනය බෝඞ් ලෑල්ලකට සීමවෙලා.


ජනාධිපතිපතිවරණයේදී කතාකළ මාධ්‍ය නිදහස, සාධාරණ සමාජ ක‍්‍රමය ගැන අද කතා කරන්නේ නැහැ. පොලිස්පතිවරයා පොලීසියට භාවනා කරන්න උගන්වන විට ඩුබායි ඉන්න පාතාල සාමාජිකයන් දුරකතනයෙන් රට පාලනය කරනවා.

තමන්ට විරුද්ධ පාතාල කල්ලි සමජිකයන්ගේ බෙල්ල කපලා උසාවිය ඉස්සරහට ගෙනත් දානවා. රට ඉන්න පාතාල සාමාජිකයන්ම පොලීසියට දුරකතනයෙන් කතා කරල කියනකම් පොලීසිය ඒ ගැන දන්නෙත් නැහැ. පාතාලය මිනී මරණ විට, මත්ද්‍රව්‍ය සමාජය ගිලගන්නා විට  පොලීසිය පන්සිල් රැකලා වැඩක් නැහැ. සමාජයේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න පොලීසිය ක්‍ෂණිකවම ක‍්‍රියාත්මක විය යුතුයි.


ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.