‘පෙට්‍රල් -ඩීසල්-ගෑස් හිඟයක් නැහැ‘


(මහින්ද නිශ්ශංක)
දින 20 කට ප්‍රමාණවත්  පෙට්‍රල් හා ඩීසල් තොග මෙන්ම දින 15 කට ප්‍රමාණවත් ගෑස් තොග ඇති බවත් ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ලිටිරෝ ගෑස් සමාගම පවසයි.
 
රටපුරා කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බවත් මාස දෙකකට ප්‍රමාණවත් ඩීසල් සහ පෙට්‍රල් තොග ඇණවුම් කර ඇති බවත් ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඞ් උවායිස් මොහොමඞ් මහතා පැවසීය.
 
ඇඳිරි නීතීය ක්‍රියාත්මක වුවද ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව පවසන ඒ මහතා සමහර ඉන්ධන පිරවුම්හල් කලට වේලාවට ඉන්ධන තොග ඇණවුම් නොකිරීමේ ගැටළු පවතින බවද පැවසී.
 
 ඊයේ දිනයේද ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් ඊයේ (24) මුතුරාජවෙල පර්යන්තයට පැමිණෙන ලඳුව එම ඉන්ධන තොග ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවද සභාපති උවායිස් මොහොමඞ් මහතා පැවසීය.
 
මේ නිසා ඉන්ධන හිඟයක් ඇති වෙතැයි කිසිඳු බියක් ඇති කර නොගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් ඇණවුම් කළ ඉන්ධන තොග රැගත් නෞකා ඉදිරියේදී මෙරටට ලඟා වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
 
මේ අතර කිසිඳු ගෑස් හිඟයක්ද රටතුළ නොමැති බව ලිට්රෝ ගෑස් සමාගමේ වෙළඳ අලෙවි සහ ආයතන සම්බන්ධතා අධ්‍යක්‍ෂ ජනක පතිරත්න මහතා පැවසීය.
 
අවශ්‍ය තරම් ගෑස් තොග තිබෙන බවත් මේ වනවිට දින 16 කට ප්‍රමාණවත් ගෑස් තොග සමාගම සතුව තිබෙන බවත් පැවසු ඔහු විශේෂයෙන් දැනට රට තුළ ක්‍රියාත්මක ඇඳිරි නිතී කාලය තුළ පාරිභෝගිකයින්ට නිවසට ගොස් ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇතැයිද පැවසීය.