‘පෘතුගීසිකාරයා කොළොම්පුරේ : බයිසිකලෙන් යයි ලෝකෙ වටේ‘


පෘතුගාල ජාතික විශ්‍රාමික ආරක්ෂක නිලධරයෙක් චීන මිතුරකුගේ පා පැදියෙන් ලොව වටා සංචාරය කරයි. ජොසේ එර්නානි මුරේරා කර්දෝසු (54) මෙම උද්යෝගිමත් පාපැදිකරුවාය. දැනට ඔහු කිලෝ මීටර් 7000ක් පමණ මග ගෙවා ඇත. එමෙන් දෙතුන් ගුණයක් තවත් ගමන් කර 2021දී පෘතුගාලයේ පෝටෝ නුවර උපන් බිමට යාම ඔහුගේ අරමුණයි. ඔහු අද එසැණට ආවේය.

එහෙත් ගමට ගියත් ඔහුට ඉන්නට තැනක් නැත. පසුගිය වසරේ මැයි 20 වැනිදා පෝටෝ නුවරින් ඔහු පාපැදියට නැගුණේ ඔහුගේ ගෙය, කාරය ඇතුළු නිශ්චල චංචල සියලු දේපළ යූරෝ 1,75,000කට විකිණීමෙනි. (රුපියල් 26324367.69) ඔහු දැනටම ස්පාඤ්ඤය, මොරොක්කෝව, ප්‍රංශය, ඉන්දුනීසියාව, ඉතාලිය, සමරීනා, වතිකානය, ක්‍රොඒෂියාව, බොස්නියා හා හර්ෂග්‍රොවීනා, ඇල්බේනියා, කොසෝවෝ, මැසිඩෝනියා, බල්ගේරියා, රුමේනියා, මෝල්ටෝවා, ග්‍රීසිය, තුර්කිය, ඊශ්‍රායලය, පලස්තීනය, ඊජිප්තුව, එමිරේට්, ඕමාන්, ඉරානය යන රටවල මෙතෙක් සංචාරය කර ඇත.

ඔහු පවසනුයේ තමා ගිය රටවලින් හොඳම රට ඉරානය බවයි. ඉරානයේදී ලැබුණු ආගන්තුක සත්කාර ගැනත් ඉරාන ජනතාව ගැනත් ඔහු මහ ඉහළින් කථා කරයි. අද වන විට ශ්‍රී ලංකාවේ දස දිනක් ගත කළ ඔහු පවසනුයේ ලක් වැසියන්ගේ සිනහවට ඔහු ආකර්ෂණය වූ බවයි. ‘රටත් ලස්සනයි මිනිස්සුන්ගේ වැඩත් ලස්සනයි‘

නරකම රියදුරන් සිටින රට ඉතාලිය බව ඔහු කියයි. ඉතාලියේ කිසිම වාහනයක් බයිසිකල්කරු ගැන තැකීමක් නොකරන බව ඔහු කියයි.

ශ්‍රී ලංකාවේ රියදුරන්ගේ හැසිරීම මෙතෙක් යහපත් බව ඔහු පවසයි.

තමන් ගිය රටවලදී කිසිම අවහිරයක් හිරිහැරයක් නොවූ බවත් ඔහු කියයි. ඊජිප්තුවෙන් පමණක් ආරක්ෂක හේතු මත පාපැදියේ යාමට ඉඩ නොදුන් බව ඔහු කියයි.

‘කිලෝ මීටර් 7000ක් ගියා. ලංකාවේ තවත් මාසයක් දෙකක් වගේ ඉන්නවා. ලංකාවේ එකම ප්‍රශ්නය මේ දිනවල පවතින උෂ්ණත්වයයි. ඒ නිසා දවසකට කිලෝ මීටර් 50කට 60කට වැඩිය යන්නේ නෑ. ශීත රටවලදී නම් දවසකට කිලෝ මීටර් 100ක් 150ක් ගියා. මේ ගමනෙදී පැච් එකක් ගියේ එක්වරක් පමණයි.

ඔහු ගිය සවාරියේ ‘සහකරු‘වන පාපැදිය ලැබුණේ චීන මිතුරකුගෙනි.

‘චීන මිතුරා 2012 දී අපේ ගෙදර ආවා. ඔහුත් බයිසිකලයෙන් ලෝකෙ වටේ යන එක්කෙනෙක්. පෘතුගාලෙදි ඔහුගේ බයිසිකලය හොරුන් ගත්තා. මිතුරා වෙනත් බයිසිකලයක් මිලට ගෙන ඔහුගේ සවාරිය ගියා. පෘතුගාල පොලිසිය එම සයිකලය සොයා ගත්තා. දැන් ඒ සයිකලය මගේ ළඟ. මගේ සවාරියේදි චීනයටත් යනවා. ඒ යන්නේ මගේ මිතුරාට ඔහුගේ යතුරු පැදිය බාරදීමටයි. චීනයෙන් බයිසිකලයක් මිලට ගෙන තම ගමනේ ඉතිරි කොටස සම්පූර්ණ කරන බව කර්දෝරු කියයි.

පෘතුග්‍රීසින් එදා අල්ලාගත් රටවලට ගොස් එහි සිහිවටන, ලාංඡන, සංස්කෘතිය, කෑමබීම ගැන අවබෝධයක් ලබාගැනීම තම අරමුණ බවද ඔහු පවසයි. ඔහුගේ බයිසිකලයේ කූඩාරමක් හා ඉවුම් පිහුම් කට්ටලයක්ද ඇත. සමහර තැන්වලින් මම කෑම උයාගත්තා. හැබැයි බොහෝ රටවලදී ඒ ඒ රටවලට ආවේණික කෑම කෑවා. තුනපහ සහ මිරිස් වැඩිපුර දැමූ සැර කෑම හැර සැර අඩු කෑමට මම කැමතියි. ලංකාවෙදි බත් කනවා. ශ්‍රී ලංකාවේදී දකුණටත් යනවා. උතුරටත් යනවා. නැගෙනහිරටත් යනවා. ගිය හැම රටකදීම ඒ රටේ වචන කිහිපයක් ඉගෙන ගත්තා.  ‘වතුර‘, ‘කෑම‘, ‘බොහොම ස්තූතියි‘ වචන ඉගෙන ගත්තා. ශ්‍රී ලංකාවේ සිට ගුවනින් ඉන්දියාවට ගොස් ඉන්දියාවේ මාසයක් දෙකක් ගතකර බංග්ලාදේශය හා මියන්මාරය ඔස්සේ චීනයට යනවා. චීන මිතුරා සමග චීනයේ ඇවිද සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, පිලිපීනය, මැකෝ, ජපානය හා කැනඩාවට ගොස් එහි සිට දකුණු ඇමරිකාවේ චිලී රටට යනවා. වීසා පිළිබඳ කිසිම අවුලක් ඇති නොවූ බවද ඔහු කියයි.

චිලියෙන් ගමරටට ගුවනින් යනවා. ගමේ යනකොට 2021 වේවි. ඔහු බිරියගෙන් වෙන්වී තනිකඩ ජීවිතයක් ගත කරයි. තමා ඉතිරි කරගත් මුදලින්ද විශ්‍රාම වැටුපෙන්ද මඟ වියදම් සොයා ගන්නා බව කියන ඔහු ලෝකය දෙස බැලීමට හොඳම වාහනය බයිසිකලය බවද කියයි.

GLA_4291 GLA_4293