‘පූජකයනට දේශපාලනය සුදුසු නෑ’


කිසිදු පූජකවරයකුට පක්ෂ දේශපාලනය නොහොබිනා බවත් ඔවුන් පක්ෂ දේශපාලනයේත්, දේශපාලන ආරක අරගලවලටත් සක‍්‍රිය අන්දමින් ඔවුනට දායක විය නොහැකි බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමෝ පැවැසූහ. යාපන රදගුරු වසමේ සිට එතෙර ගොස් පූජකවරයකුට නොගැලපෙන කටයුතු කරන එස්.ජේ. එමෑනුවෙල් පියතුමාගේ ක‍්‍රියා කලාපය අනුමත නොකරන බව ද එතුමෝ කීහ. අන්තවාදී කල්ලියක් විසින් කොළඹ අගරදගුරු මැදුර ඉදිරිපිට කැරුණු ඝෝෂාව සම්බන්ධයෙන් ද එතුමෝ ඥානාර්ථ ප‍්‍රදීපය පුවත්පතට කරුණු දැක්වූහ. බෙදුම් වාදය ශ්‍රී ලංකාවේ යළි ජයගැන්වීමට යමකු උත්සහා කරතොත් එය කිසිසේත් අනුමත කළ නොහැකි බව ද අන්තවාදි, පටු ජාතිවාදී, ආගම්වාදී සියලූ ආකාරයේ ප‍්‍රයත්න කතෝලික සභාව තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ද එතුමෝ සඳහන් කළහ. අද අවශ්‍ය වනුයේ ජාති අගම් වශයෙන් නොබෙදී එකමුතුවී දෙමළ ජන කොටස් ප‍්‍රධාන ප‍්‍රවාහයට ඇතුළු කිරීම සඳහා වන ධෛර්යවත් දේශපාලන විසැඳුමක් වෙත යෙමු වෙමින් දෙමළ ජනයා විදේශ කුමන්ත‍්‍රණවලින් මුදා ගැනීම බව ද කාදිනල් තුමෝ කීහ.