‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දීමට විරුද්ධ නැහැ’


(නිමල් ජයරත්න)
 
පාස්කු ප්‍රහාරයට තෙමසක් පිරෙන මොහොතේ ඊට සෘජුවම  සම්බන්ධ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.
 
අරලගංවිල මහවැලි ප්‍රතිභා ශාලාවේදී අද(22) පෙවරුවේ ජනහමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය. අමාත්‍යවරයා මෙසේද කීවේය.
 
“ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින්ගේ කට කැඩිච්ච කතා නිසා අහිංසක මුස්ලිම් මිනිසුන්ගෙන් පලිගන්න එපා කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මුස්ලිම් ඇතැම් දේශපාලනඥයින් කියන කරන දේවල් අනුව ගොඩක් මිනිසුන්ට කළකිරීම් ඇතිවුණත් ඒවට මුස්ලිම් ප්‍රජාවම පලි නැහැ. සිංහල, බෞද්ධ ජනතාව කුපිත වන දේවල් නැවත මුස්ලිම් දේශපාලනඥයින් ප්‍රකාශ කරනවා. කබීර් හෂීම් වැනි මුස්ලිම් දේශපාලකයින් ඉතා වැදගත්. නමුත් මුස්ලිම් ඇමැතිවරු එකෙකෙනක් දෙන්නෙක් නිසා විවිධ ගැටලු ඇතිවෙනවා. ඒ ප්‍රකාශ නිසා අන්තවාදී හැඟීම්, බෙදීම් ඇතිවෙනවා.
 
මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට මරණ දණ්ඩනය ගෙනාවාට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි ඒ තැනට උසාවිය, පොලිසිය හැදිලා තාක්ෂණය අතින් සියලු පහසුකම් තිබිය යුතුයි. නමුත් මරණ දණ්ඩනයත් දේශපාලන පලිගැනීම්වලට හැරෙයිද දන්නෙ නැහැ. ඒ බය අපට තියෙනවා. ඉතිං දේශපාලන ප්‍රතිවිරුද්ධ අයට ඒක නොවෙනවා නම් ගැටලුවක්” යැයිද සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.