මියගිය කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් මහතා නමින් හෝමාගම කටුවන ප්‍රදේශයේ මාර්ග දෙකක් නම් කිරීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන නිර්මලා ද අල්විස් මහත්මිය අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
හෝමාගම ප්‍රාදේශීය සභාව සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කොට ඇති මෙම පෙත්සමේ පෙත්සම්කාරිය සඳහන් කරන්නේ මෙම මාර්ග නම් කිරීම සම්බන්ධයෙන් තමාට හෝ තම දරුවන්ට කිසිදු දැනුම් දීමක් කර නැති බවත්, එමඟින් විශාල මානසික පීඩාවක් ඇතිකරන බවය.හෝමාගම කටුවන ප්‍රදේශයේ පිහිටි මාර්ග දෙකක් ප්‍රේමකීර්ති ද අල්විස් පාර සහ ප්‍රේමකීර්ති පෙදෙස නමින් නම් කිරීමට හෝමාගම ප්‍රදේශීය සභාව සූදානම් වන බව රූපවාහිනී වැඩසටහනකදී සිය පුත්‍රයා දැනගත් බවද ඒ ගැන කිසිදු දැනුම් දීමක් තමාට හෝ පවුලේ කිසිවෙකුට කර නැතැයිද පෙත්සම්කාරිය කියා සිටී.
1989 වසරේදී ඝාතනය කළ තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් නොකළ බවත්,එසේ තිබියදී මෙලෙස මියගිය සැමියගේ නම භාවිතා කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවද පෙත්සම්කාරිය කියා සිටින්නීය.මේ නිසා තමාට හා තම පවුලේ සාමාජිකයින්ට විශාල මානසික පීඩාවක් හා හානියක් ඇතිවන හෙයින් ප්‍රේමකීර්ති ද අල්විස් නමින් මාර්ග නම් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

