විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී හා පිළිතුරු පත් ඇගයීමේ දී ඒ සඳහා සුදුසු ප්‍රාමාණික දැනුමක් ඇති උගතුන් යොදා ගත යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විභාග දෙපාර්තමේන්තුවට නියම කර ඇත.
2014 උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය දෝෂ සහගත බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමණිල්ල විභාග කර නිර්දේශ ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ආර් පී පෙරේරා මහතා ඒ බව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් සහ අධ්‍යාපන ලේකම් වගඋත්තරකරුවන් කරමින් ගොනු කළ එම පැමිණිල්ලේ මැදිහත් පාර්ශ්වයක් ලෙස මහාචාර්ය අතුල රණසිංහ මහතා ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් කටයුතු කළහ.
පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වද්දී ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති මාහාචාර්ය හා ආචාර්යවරු කිහිප දෙනකුගෙන් කරුණු විමසූ බවත්, ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ හා පිළිතුරු පත්‍රයේ සඳහන් කර ඇති පිළිතුරුවල ද ඇපහැදිලිතා ඇති බව හා නිවැරදි නොවන කරුණු අඩංගුව ඇති බව ඔවුන් අවධාරණය කළ බවත් මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යනු ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රජාව මුහුණ දෙන කඩයිම් විභාග දෙකක් බව ද, එම විභාගයන්හිදී විභාග දෙපාර්තමේන්තුවෙන් ගැටළු ඇතිවේ නම් එය විභාගයේ තරඟකාරිත්වයට හා විශ්වාසනීයත්වයට බාදා ඇති කරන බව ද, එමගින් විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි රට තුළ පවත්නා යහපත් ආකල්පය බිඳ වෙන බව ද මානව හිමිකම් කොමිසමේ සභාපති ප්‍රියන්ත ආර් පී පෙරේරා මහතා විසින් විභාග දෙපාර්තමේන්තුවට යැවුණු ලිපියේ සඳහන්ය.
මීට පෙර විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කර තිබුණේ ප්‍රශ්නපත්‍රයේ කිසිදු වරදක් නැති බවයි.

