(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියා අදාළ නොවන බවත් අදාළ වෙන්නේ සන්ධානයක් එක්ක හරි ප‍්‍රතිපත්තියක් ඇතිව ආණ්ඩුවක් හදන්න පුළුවන් පුද්ගලයෙක් පමණක් බවත් ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය.
කෙතරම් ජනප‍්‍රිය අපේක්ෂකයකු ඉදිරිපත් කළත් සියලූ පක්ෂ ඒකාබද්ධව කටයුතු නොකරන්නේ නම් ආණ්ඩු පිහිටුවීම සිහිනයක් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ අද (6) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ ද කීවේය.
‘‘ජනාධිපතිවරණය සහ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ මේ දිනවල එක එක්කෙනා එක එක අදහස් කියනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ ප‍්‍රබල පක්ෂයක්. මේ ගිවිසුම්වලදී වුණත් අපි එක්සත් ජාතික පක්ෂයට වැඩි අවස්ථාවක් ලබා දීලා තියෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ කවුද නායකයා කියලා අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ සන්ධානයක් එක්ක හරි ප‍්‍රතිපත්තියක් ඇතිව ආණ්ඩුවක් හදන්නයි.
ඒ සඳහා තමයි අපි අවුරුදු දෙකකටත් වැඩියෙන් මේ සන්ධානය ගොඩනැගීමේ කටයුතුවල නිරත වී සිටින්නේ. මම නිතරම කියපු දෙයක් තමයි මේ සන්ධානය ගොඩනැගීම ඉක්මණින් අවසන් කරමු කියලා. මේ සන්ධානයේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් වන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, රවී කරුණානායක, මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් යන ප‍්‍රබලයන් සියල්ලක්ම මෙතන ඉන්නවා.
මේ අය සමඟ සිදුකළ සාකච්ඡාවල ප‍්‍රතිළුලයක් විදියට තමයි අපි මේ ගිවිසුම සකස් කළේ. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අය හිතනවා ඒ අයට තනියම දිනන්න පුළුවන් කියලා. ඒක නම් හීනයක් කියලා මම දකිනවා.
අපි ඒකාබද්ධ වුණේ නැත්නම් කවදාවත් ආණ්ඩුවක් හදා ගන්න අමාරු වෙනවා. ඒක අපිට විතකරක් නෙමෙයි අනිත් පැත්තටත් එහෙමයි. ඒ පැත්තෙනුත් දැන් පක්ෂ කිහිපයක් අත්සන් කරලා තියෙනවා. අපේ පැත්තේ ඉන්නේ මේ රටේ තියෙන ප‍්‍රධානතම පක්ෂ සහ පුද්ගලයනුයි. ඒ අයත් එක්ක සන්ධානයක් හදන්නේ නැතුව ඊළඟ ආණ්ඩුවක් හදන්න යනවා නම් ඒක ප‍්‍රායෝගික දෙයක් කියලා මම හිතන්නේ නැහැ.
මේ ජනාධිපතිවරනයේදී එක අපේක්ෂකයෙක් ඡන්ද ලක්ෂ 65 ඒක ලේසි දෙයක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි එක්සත් ජාතික පක්ෂය හරි පොහොට්ටුව හරි තනියම යන්නේ නැතුව සන්ධාන හදන්නේ තනියම දිනන්න බැරි නිසයි.
හොඳ සන්ධානයක් හැදුවොත් ආණ්ඩුවක් හදා ගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. හැබැයි හොඳ ප‍්‍රතිපත්ති මෙන්ම ඒවා ක‍්‍රියාත්මක වෙන්නත් ඕන. අද සමහර ප‍්‍රතිපත්ති කොළේකට සිමා වෙලා තියෙනවා. අපේ ආණ්ඩුවේත් සමහර ප‍්‍රතිපත්ති පොත් වලට පමණක් සීමා වෙලා තියෙනවා. අපි ඒවට එකඟ වෙන්නේ නැහැ.
අපිත් මේ වේදිකාවකට එන්න අරගෙන තියෙන්නේ අවුරුදු හතරහමාරකට පසුවයි. මෙච්චර කල් අපි මොනවද කළේ කියන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. අපේ ආණ්ඩුවේ තියෙන ලොකු දුර්වලතාවය තමයි අපිට ප‍්‍රදර්ශනය නැහැ. ඒක දැන් හරි මතක් වීම ගැන අපි සතුටු වෙනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
මෙහිදී ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී ජයම්පති, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද අදහස් දැක්වීය.
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි


