‘පළාත් පාලන ආයතනයන්හි ආදායම් සියල්ල ආණ්ඩුව රඳවාගෙන සිටිනවා ‘


(විනීතා එම් ගමගේ)

පළාත් පාලන ආයතනවලට ලැබිය යුතු මුද්දර ගාස්තූ හා දඩ අය කිරීම් ඇතුළු ආදායම් සියල්ල ආණ්ඩුව රඳවා ගෙන සිටින  බව පළාත් පාලන ආයතන ප‍්‍රධානින් ගේ සංසදයේ සභාපති වලල්ළාවිට ප‍්‍රාදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරළ මහතා  ප‍්‍රකාශ කළේය. 

එම මුදල් ලැබෙන්නේ නම් තම බල ප‍්‍රදේශ වෙනත් කිසිවෙකුගේ උපකාර නැතිව සංවර්ධනය කරන්නට ඒ ඒ පළාත් පාලන ආයතනවලට හැකියාව ලැබෙනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය. තම ආයතනවල අයිතිවාසිකම් ඉල්ලා අධිකරණය ඉදිරියට යාමට පළාත් පාලන සංසදය තීරණය කළ  බව ද අතුකෝරළ මහතා කීය. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගය මේ රටේ පළාත් පාලන ආයතනවල ස්වර්ණමය යුගය බවත් එවකට පළාත් පාලන ආයතන ඉතාම ශක්තිමත්ව තිබු බවත් සභාපතිවරයා සඳහන් කළේය. 
            උදේනි අතුකෝරළ මහතා මේ අදහස් පළ කළේ පළාත් පාලන සංසදය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වු අතුකෝරළ මහතා මෙසේ ද කීය. 

‘‘යහපාලන ආණ්ඩුව බලයට ආ ගමන් පළාත් පාලන ආයතනවල සැළසුම් කමිටුවේ පාලනය මහා නගර සංවර්ධන අමාත්‍යංශයට පවර ගෙන පළාත් පාලන ආයතනවල ආදායම් නැති කර දැම්මා. 
පළාත් පාලන අමාත්‍යවරයා මේ ගැන නිහඬව සිටියා. මහ ඇමතිවරු නිහඬව සිටියා. පළාත්පාලන ආයතන නැති කරල දැම්මේ මහා නගර සංවර්ධන අමාත්‍යංශයයි.

සමහර පළාත් පාලන ආයතනවලට රුපියල් කෝටි තිහ හතලිහ එන්න තියෙනවා. ඒ වෙනුවට රුපියල් කෝටියක් දීල නිහඬව ඉන්නවා. එතකොට කොහොමද ප‍්‍රදේශය සංවර්ධනය කරන්නේ. 

ජනවාරි අටට කළින් ජනතාව  වුණත් ශක්තිමත්. තේ රබර්වලින් ජනතාවට ආදායම් තිබුණා. කුඩා ව්‍යාපාරිකයන්ට ආදායම් තිබුණා. විදේශ ආයෝජකයින් ආවා. වියදමට සරිලන මුදලක් අතේ තිබුණා. අද මිනිසුන්ට ආදායමක් නැහැ. ආයෝජකයින් එන්නේ නැහැ. තේ රබර් මිල අඩු වෙලා. 

අවුරුදු හතරක් ගතවුණාට පස්සේ මංගල මහත්තයාට ගම්පෙරළිය මතක් වෙලා. මංගල මහත්තයට කියන්නේ ගම්පෙරළිය විතරක් නොවෙයි ජනතාව බලාගෙන ඉන්නේ ආණ්ඩු පෙරළියක් එක්කම ගම්පෙරළිය කරන්නයි.
ගමේ ගෙදරකට පස් කණ්ඩියක් වැටුණොත් ඒක අස්කරන්න සබාවේ ජේසීබී එක ගෙනියන්න අවසර ගන්න  ඕන. එහෙම කියල චක‍්‍රලේඛයක් එවල තියෙනවා. ‘‘