‘පසුගිය කාලේ බිල්ලෙක් අපේ පස්සෙන් හිටියා‘


පසුගිය රජයේ පාලන සමය තුළ ජනතාව ජීවත්වූයේ බියෙන් බවත් කවුරුන් හෝ බිල්ලෙක් අප දිහා බලා ඉන්නවා වගේ බියක් ජනතාවට ඇතිව තිබූ අතර ජනවාරි 8 වැනිදායින් පසු පුද්ගල නිදහස හා අයිතිවාසිකම් ගැන හොඳ තත්ත්වයක් දැකිය හැකි යැයිද ජාතික නිදහස හා සාධාරණ සමාජයක් සඳහා වන විද්වත් සභාවේ කැඳවුම්කරු ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ මහතා අද (11) කොළඹ ගිල්ෆ්‍රඩ් ටෙරස්හි පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු උගත් බුද්ධිමත් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් තම සංගමය මෙවර මැතිවරණයේදී විවිධ පක්ෂවල මැතිවරණ ප්‍රකාශයන් දෙස බැලූ බවත් එක්සත් ජාතික පක්ෂය අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදී ඒ වෙනුවෙන් සහයෝගය දෙන බවත් වීරසිංහ මහතා එහිදී සඳහන් කළේය.

එම අවස්ථාවට ආචාර්ය රාහුල දන්දෙණිය, වසන්ත බණ්ඩාර දිසානායක ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියහ.

web