‘පවුල් පාලනය වෙනුවට ආ හවුල් පාලනය ගැන සැකයි‘


පවුල් පාලනය වෙනුවට බලයට ආ හවුල් පාලනය ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල උල්ලංඝනය කරමින් සැක සහිත ගමනක යමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසීය.

ඇමැති මණ්ඩලය 30 දක්වා අඩු කරන බවට මෙන්ම විද්‍යානුකූල ක‍්‍රමවේදයක් අනුව ඇමතිවරුන් පත්කරන බවට හා වංචනිකයින්ට දඬුවම් දෙන බව කියා බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය  දැන් සම්මුතිවාදය යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චෝදනා ඇති අයටත් ඇමතිකම් දෙමින් ලැජ්ජා සහගත ලෙස කටයුතු කරමින් සිටින බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඡන්දයෙන් පැරදුණු එස්.බී දිසානායක මහතාට ඇමතිකමක් දී ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ලැබූ එජාප අපේක්‍ෂකයා වන රංජන් රාමනායක මහතා පත්කිරීම ආදී විහිළු සහගත දේ කරන ආණ්ඩුවේ ආරම්භය මෙසේ නම් ඉදිරි තත්ත්වය තවත් බරපතල වන බවට කිසිදු සැකයක් නැතැයි ද විජිත හේරත් මහතා සඳහන් කළේය.

ආණ්ඩුව සම්මුතිවාදයෙන් එකිනෙකාගේ වැරදි වසාගැනීමට මිස ජනතාවට යමක් කිරීමට උත්සාහ ගන්නේ නැතැයි කී විජිත හේරත් මහතා හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව තිබූ නඩුව එක් පාර්ශවයක් විසින් ඉල්ලා අස්කර ගනිද්දී අනිත් පාර්ශවය වත්මන් අධිපතිවරයාට එරෙහි නඩුව අස්කර ගැනීමෙන් මේ බව පැහැදිලි වන්නේ යැයි ද කීවේය.

jvp_2015913_DSC0014