විනීතා එම් ගමගේ
දේශීය වශයෙන් පරිභෝජනය කරනු ලබන පළතුරු වලින් සියයට 80%ක්ම පිටරටින් ගෙන්වනු ලබන ඒවා යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
වසරකට වරක් දෙකක් හට ගන්නා පළතුරු වසර පුරා විකුණන්නේ කල් තබාගෙන බවත් ඒ ඒ රටවල මෙම පළතුරු කල් තබා ගැනීමට යොදා ගන්නේ මොනවාද යන්න අපි කිසිසේත්ම නොදන්නා බවත් හෙතෙම කියා සිටියේය.
එසේ මාස ගණන් කල් තබා ගන්නා පළතුරු මිලදී නොගෙන දේශීය වශයෙන් පලතුරු අවශ්‍ය තරම් වවා ගත හැකි යැයි කී අමාත්‍යවරයා තම ව්‍යායාමය පළතුරු ධාන්‍ය වර්ග සහ අල ලූණු වැනි ආහාර වර්ග දේශීයව හැකි තරම් වවාගෙන පිටරටට යන විශාල මුදල අවම කර ගැනීම යැයි ද කීය.
අමරවීර මහතා මේ අදහස් පළ කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ අද (8) පැවැති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.
කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් ආරමභ කරනු ලබන ‘‘අපි වවලයි අපි කන්නේ’’ නමැති කෘෂිකාර්මික කේෂත‍්‍රයේ සංවර්ධනය සඳහා වූ ඉදිරි කඩිනම් වැඩපිළිවෙළ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ හා අනුබද්ධ ආයතනවල නිලධාරින් දැනුම්වත් කිරීම සඳහා මෙම සම්මන්ත‍්‍රණය පැවැත්විණි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
2017 දි පැණි දොඩම් මෙට්‍රික් ටොන් 8686 ක් ගෙන්වා ඇති අතර මිලියන 958 ක් ඒ සඳහා වැය කර තිබෙනවා. මිදි මෙට්‍රික් ටොන් 9687 ක් ගෙන්වා ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 2766 ක් වැය කර තිබෙනවා.
ඉඟුරු හා කහ ගෙන්වීමට රුපියල් මිලියන 1315 ක් වැය කර තිබෙනවා. ලොකු ලූණු ගෙන්වීමට රුපියල් 2776 ක් ද අල සඳහා මිලියන 5753 ක් ද වැය කර තිබෙනවා. මේ මුදල් වලින් විශාල ප‍්‍රමාණයක් ඉතිරිකර ගත හැකියි.
ඉඟුරු කහ වගේ දේවල් පුත්තලමේ වවන්න පුළුවන්. ඉඟුරු කිලෝවක් රුපියල් 1000 යි. වවන්න රුපියල් දෙසීයක් වත් යන්නේ නැහැ. කෘෂි කලාප ස්ථාපිත කරන්නයි අපි අරමුණු කරන්නේ.
දැන් රටේ සිදුවන්නේ හැමදේම හැමතැනම වවන එකයි. වැවිය යුතු මොනවාදැයි ගොවින්ට අවබෝධයක් නැහැ. මේ නිසා වගාවන් අලෙවි කරගැනීමේ දී ප‍්‍රශ්න ඇති වෙනවා.
දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂි කේෂත‍්‍රයේ දායකත්වය 29% තිබුණත් එය මේ වනවිට සියයට 7.7 ක්ව තිබෙනවා. එය යළි ඉහළ නැංවීම මේ සියලූ උත්සාහයන් හී අරමුණයි යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාත් කෘෂිකර්ම ඇමති ගාමිණි තිලකසිරි, වයඹ පළාත් කෘෂිකර්ම ඇමති සුමල් තිසේරා, මධ්‍යම පළාත් කෘෂිකර්ම ඇමති එම් රමේෂ් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී විජේරත්න, යන මහත්වරු සහ අමාත්‍යංශයේ හා අනුබද්ධ ආයතනයන්හි නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර