‘පරිසරය වනසන සියලු දෙනා නීතිය හමුවට ගේනවා‘


පරිසරය වනසන සියලු දෙනා තරා තිරම නොබලා නීතිය හමුවට පමුණුවන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අදට (05) යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියයි.

‘මිනිසා සහ පරිසරය අතර පවත්නා අනනෝන්‍ය සංහිඳියාව සහ සහජීවනය මිහිතලය මත ජීවියාගේ පැවැත්ම ඇරැඹුණු, ඉතිහාසයේ සමාරම්භක අවදිය දක්වා දිව යන අසිරිමත් බැඳීමකි.

1972 පැවති පරිසර සමුළුවේදී ගන්නා ලද තීරණයකට අනුව සෑම වසරකම ජූනි 05 වැනි දා  ජගත් පරිසර දිනය ලෙසින් නම් කෙරෙනුයේ පරිසර සංරක්ෂණය කෙරෙහි ලෝක ප්‍රජාවගේ දැඩි අවධානය යොමු කරනු පිණිස ය. මෙවර පරිසර දිනයේ තේමාව වනුයේ  “තිරසර භාවිතය – සුරකී මිහිතලය” යන්න ය.

සොබාදහමේ දරුවන් ලෙසින් අද දවසේ අප සතු යුතුකම සහ වගකීම වනුයේ පරිසරයට එරෙහි මානව ක්‍රියාකාරකම් වළකා ස්වාභාවික උරුමයන්ගේ නිරුපද්‍රිත පැවැත්ම උදෙසා ඇප කැපවීමය. එහිලා සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත නොබියව හා පක්ෂග්‍රාහී බවින් තොරව දැඩි ලෙස කි්‍රයාත්මක කිරීමත්, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර සංකල්පීය අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීම් වාර්තා ඔස්සේ පරිසර හිතකාමී ව්‍යාපෘති ලෙස ආරම්භ කිරීමත් පරිසරය වෙනුවෙන් ගත හැකි සාධනීය පියවර වේ.
අප රජය වනාන්තර සහ වන ජීවීන්ගේ සුරක්ෂිත පැවැත්ම ආරක්ෂා කරනු උදෙසා වන විනාශය වැළැක්වීම සේම සංවේදී පරිසර පද්ධති සංරක්ෂණය සඳහා ද නව නීතිරීති සම්පාදනයට කටයුතු කරන අතර පරිසරය වනසන බලවේග තරාතිරම නොබලා නීතිය හමුවට පැමිණ වීමට පියවර ගනු ඇත. මේ සියල්ලෙන් අපේක්ෂා කරනුයේ සකල විධ පාරිසරික විනාශකාරී ක්‍රියාවන්ට එරෙහි නීති බලාත්මක කරමින් පරිසරයට, ගහකොළට සේම සතාසිව්පාවාට ආදරය කරනු ලබන පරපුරක් බිහිකිරීම ය.

මෙවර ජගත් පරිසර දිනයේ අප සියල්ලන්ගේ අධිෂ්ඨානය විය යුත්තේ පරිසරයට රැකවරණය සැලසෙන එවන් හෙටක් නිර්මාණය කිරීමය.‘