(නිමල කොඩිතුවක්කු)
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ගොඩ ගැසෙන අළු කන්ද ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල කරමින් උග‍්‍ර පාරිසරික සහ සමාජීය අර්බුදයක් නිර්මාණය කරමින් පවතින බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ගොඩ ගැසෙන අළු කන්ද හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටළු පිලිබඳ කළ සොයා බැලීම්වලින් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
නිරෝෂන් පෙරේරා මහතා මෙසේද කීය
“පසුගිය රජය නොරොච්චෝලේ බලාගාරය ඉදිකරන සමයේ එක්සත් ජාතික පක්ෂය පුත්තලම් දිස්ත‍්‍රික් ජනතාව සමඟ එක්ව ඊට විරෝධය පල කළා. අද වන විට ගල් අඟුරු භාවිතයෙන් පසු ඉතිරි වන අළු නොරොච්චෝල බලාගාර භුමියේ කන්දක් ලෙස දිනෙන් දින ගොඩ ගැසෙනවා.
මෙම අළු කන්දේ බලපෑම් අවට ගම්වල ජනතාවගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනවා. මෙවැනි බලාගාර පද්ධතියකින් බැහැර කරන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. ශ‍්‍රි ලංකාව වැනි ජනඝනත්වය වැඩි රටක මෙවැනි පද්ධති නිර්මාණය කිරීමේදී පාරිසරික සංවේදීතාවය පිළිබඳව ප‍්‍රමුඛත්වයක් ලබාදිය යුතුයි. විදුලිබල මණ්ඩලය සතුව අපද්‍රව්‍ය කළමනාකරණයේදී විධිමත් වැඩපිළිවෙලක් නොතිබීමේ වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ මේ ජනතාවටයි.
අද වන විට නොරොච්චෝලේ බලාගාරයේ ගල් අගුරු දහනයෙන් ඉතිරිවන අපද්‍රව්‍ය මීතොටමුල්ල කුණු කන්ද මෙන් පරිසරහානියක් සිදු කරමින් පවතිනවා. මෙලෙස වැඩි අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් ඉතිරි වන්නේ භාවිත කරන ගල් අගුරුවල ප‍්‍රමිතිය පිළිබද ගැටළුකාරී තත්වයක් හේතුවෙන්. මෙම ගැටලූවට විදුලි බල මණ්ඩලය විසදුමක් ලබාදෙන බව පැවසුවත් ප‍්‍රයෝගික විසදුමක් මේ වනතුරු ලබාදී නැහැ.
පෞද්ගලික විදුලි මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් බිලියන ගණන් වැය කිරීම ඊට උදාහරණයක්. පසුගිය වසරේ බිලියන 07ක පමණ හදිසි විදුලි මිලදී ගැනීම් සිදු කර තිබෙනවා. මේ වසර සඳහා ද රුපියල් බිලියන 18ක විදුලි මිලදී ගැනීම් සිදු කිරීමට නියමිතයි.
නොරොච්චෝලේ අළු කන්දදෙන් පීඩාවට පත්ව සිටින ඒ අවට ගම්බිම් වල ජනතාවගේ ජන ජිවිතයට අරුවක්කාඩු කසල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද සැක මතු කරන තත්ත්වයක් උද්ගතවෙලා. අළු කන්දට විසඳුම් නොමැතිනම් කුණු කන්දට කුමක් වේදැයි ජනතාව අපෙන් අහනවා.“යැයි ඒ මහතා පැවසීය

