‘නෙවස්කා ලේඩි‘ නැවෙන් ගෙනා පෙට්‍රල් බෙදා හැරීම ඇරඹෙයි


(ඩයනා උදයංගනී)

පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු අද (09) පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ‘ලංකාදීපයට‘ පැවසීය.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඩුබායි රටෙන් ඇනවුම් කළ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 40,000ක් ගත් ‘නෙවස්කා ලේඩි‘ නෞකාව ඊයේ (8) රාත‍්‍රියේ කොළඹ වරායට ළඟා විය.
ඒ අනුව හෙට (10) උදෑසන වන විට තෙල් බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි ද ලේකම්වරයා කීය.

නෙවස්කා ලේඩි නෞකාව මගින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 32,500ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 7500ක් රැගෙන එනු ලැබ තිබිණි.

මෙම නෞකාව ඊයේ (8) රාත‍්‍රී 11.40 වන විට කොළඹ වරායට ළඟා වූ අතර තෙල්වල ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීමේ කටයුතු නෞකාව පැමිණි සැණින් ආරම්භ කළ බවත්, එම පෙට‍්‍රල් තොගය අදාළ පරීක්‍ෂණවලින් සමත් වී ඇති බවත් ලේකම් උපාලි මාරසිංහ මහතා කීවේය.

ඒ අනුව එම පෙට‍්‍රල් ගොඩබෑමේ කටයුතු අද (9) දහවල් 12.30 ආරම්භ කෙරුණු අතර බෙදාහැරීමේ කටයුතු ද පස්වරුවේ සිට ආරම්භ කළ බව ද ඔහු කීය.

නෞකාව වරායට ළඟා වූ මොහොතේ සිට රැය පහන් වන තුරු අදාළ කටයුතු සිදුකෙරුණු බවත්, සාම්පල ලබාගැනීම ආදී කටයුතු කිසිම අවස්ථාවක රාත‍්‍රියේ සිදු නොකෙරුණත් ජාතික අවශ්‍යතාව සලකා එම කටයුතු සිදුකෙරුණු බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දියාවෙන් ලබාදෙන පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 16,000ක් රැගත් නෞකාව ද මේ වන විට එරටින් පිටත්ව ඇති අතර එය ද හෙට (10) රාත‍්‍රියේ කොළඹට ළඟාවීමට නියමිතය.

මීට අමතරව ලංකා ඉන්දියන් තෙල් සමාගම ඇනවුම් කළ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 16,000ක් සහිත නෞකාවක් අනිද්දා (11) රාත‍්‍රියේ කොළඹ වරායට පැමිණීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.