‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන ක‍්‍රිකට් පුහුණු පාසල් තරග අද ඇරඹේ


කොළඹ ක‍්‍රිකට් සමාජ (සී.සී.සී.)  ක‍්‍රිකට් පාසල නවවැනි වසරටත් සංවිධානය කරන ‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන වයස 14 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය අද (10) ආරම්භ වෙයි. ආරාධිත ක‍්‍රිකට් පුහුණු පාසල් අතර පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 21 වැනිදා අවසන් වීමට නියමිතය. ඉන්දියාවේ බැංගලෝර්හි ක‍්‍රිකට් පුහුණු පාසල් 6 ක් සහ මාලදිවයින් කණ්ඩායමක් ඇතුළු කණ්ඩායම් 36 ක් මෙවර තරගාවලියට සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලියේ තරග කොළඹ සහ පිට පළාත් ක‍්‍රීඩාංගණ 11 කදී පැවැත්වීමට නියමිතය. මෙවර පළමු වරට මහනුවර, අම්බලන්ගොඩ, හික්කඩුව සහ රත්ගම ප‍්‍රදේශවල ද තරග පැවැත්වේ. තරගාවලියට තරග 102 ක් ඇතුළත් වන අතර අවසන් මහ තරග මේ මස 21 වැනිදා කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ වීරයාට, දක්‍ෂතම පිතිකරුට, දක්‍ෂතම පන්දුයවන්නාට, දක්‍ෂතම පන්දු රකින්නාට සහ දක්‍ෂතම කඩුලූ රකින්නාට විශේෂ කුසලාන පිරිනැමෙන අතර ‘සුපිරි’ වටයේ තරග 12 යේ, අවසන් පූර්ව තරගවල සහ අවසන් මහ තරගයේ වීරයන්ට කුසලාන පිරිනැමීමට කටයුතු යොදා තිබේ. පාසල් ක‍්‍රීඩකයන්ගේ විනය දියුණු කිරිමේ පියවරක් ලෙස ‘වඩාත් විනයානුකූල’ කණ්ඩායමට ද කුසලාන පිරිනැමීමට නියමිතය. මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරතාව ‘ලකී රොජස්’ ක‍්‍රිකට් පාසල විසින් දිනාගන්නා ලද අතර අනු ශූරතාව සී.සී.සී. ක‍්‍රිකට් පුහුණු පාසලට හිමිවිය.