‘නීතිමය තත්වය තුළ සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය බෑ‘


(නිමල කොඩිතුවක්කු)

දැනට පවතින නීතිමය තත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු ඉඩක් නැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කරයි.

මෙම වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන කිසිදු සාකච්ඡාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සමඟ පවත්වා නැතැයි ද  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මෙම කරුණු ප‍්‍රකාශ කළේ එක්සත්  ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ ආණ්ඩු පක්ෂ  පසුපෙළ මන්ත‍්‍රීවරුන් සමඟ ඉකුත් සති අන්තයේ අරලියගහ මන්දිරයේ දී පැවති අදහස් හුවමාරු කර ගැනීමකදීය.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බවට  මැතිවරණ  කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් එහිදී කරුණු විමසීය.

දැනට පවතින නීතිමය තත්වය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා  නව පනතක් ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුවට  ගෙන ආ යුතු බව  විස්තර කළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සමග කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයිද  කියා සිටියේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද  මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි කියා නැතැයිද  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  වැඩිදුරටත් කීවේය.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම  සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පාර්ලිමේන්තු  පක්ෂ නායකයින් විසින්  පවත්වා නැතැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.