‘නීතිඥ ගාස්තුත් රජයෙන්‘


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඒකමතිකව සම්මතවූ මානව හිමිකම් යෝජනාව අනුව ශ්‍රී ලංකා රජය ඇතිකරන දේශීය යාන්ත්‍රණය යටතේ යුද අපරාධ චෝදනා එල්ලවන පුද්ගලයන්ගේ නීතිඥ ගාස්තු රජයෙන් ගෙවීමට යයි.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා හමුදා නිලධරයන් පිරිසකට එම ප්‍රතිඥාව දුන්නේය. ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් හමුදාව සමග සාකච්ඡා කිරීමේ බලය ජනපති හා අගමැති විසින් ඇමැති රණවකට පවරා ඇත. හමුදා නිලධරයනට හා සෙසු නිලධරයනට එල්ලවන චෝදනාවලදී ඔවුන් වෙනුවෙන් රජය කරන දේ රණවක ඇමැති අවස්ථා කිහිපයකදීම හමුදාවට පැහැදිලි කර දී ඇත.

ඇමැතිවරයා ඔවුන්ට අවධාරණය කර ඇත්තේ දේශීය යාන්ත්‍රණය හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් නොවන බවයි. එම යාන්ත්‍රණය ලොවට පිළිගත හැකි තත්ත්වයට පත් කිරීම සඳහා විදේශ විශේෂඥයන්ගේ සහාය ලබාගන්නා බව පමණක් ඔහු කියා ඇත.

මේ අතර විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසා ඇත්තේ සත්‍ය ගවේෂණ කොමිසම හමුවේ කරන පාපොච්චාරණවලට දඬුවම් නොකරන බවයි. සත්‍ය ගවේෂණ කොමිසම ආගමික නායකයන් වැනි කාරුණික පිරිස්වලින් සමන්විත වන බවත් සමාව දීමේ අයිතිය ඔවුනට පැවරෙන බවත් ඇමැති කියයි.