‘නිව්යෝක් ටයිම්ස් වාර්තාවට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට කිසිදු මුදලක් චීනයෙන් ලැබී නෑ’



 
අනීෂා මානගේ
 
නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු මුදලක් චීනයෙන් නොලැබුණු බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. 


නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (1) තංගල්ල පරෙවිවැල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට අදහස් දක්වමිනි. 


මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට චීනයෙන් කිසිම මුදලක් ලැබුණේ නැහැ ඔය කියන ආකාරයට. අපි ඒක වගකීමෙන් කියනවා. මේ වන විටත් එෆ්සීඅයිඩී එකෙනුයි සීඅයිඩී එකෙනුයි අවුරුදු හතරක් පරික්ෂණ කළා. පිටරට සමාගම් නෙවේ.

ලංකාවේ සල්ලි දීපු අය ගෙනල්ලත් ප්‍රශ්න කළා. ගමේ දන්සැල් දීපු අයත් ප්‍රශ්න කලා. පොසොන් පෝයට වෙසක් පෝයට තොරණ බැඳපු අයත් ගෙනත් ප්‍රශ්න කළා. මුකුත් නෑ කියල තේරෙනකොට මඩ ගහන එකයි ආණ්ඩුව කරන්නේ.  


රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළ දෙයින්ම පැහැදිලි නිව්යෝක් ටයිම්ස් එකට තොරතුරු යන්නේ කොහෙන්ද කියලා. ඊයේ පෙරේදා මම දැක්කා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියනවා සීඅයිඩී එකෙන්ලු දුන්නේ තොරතුරු ටික. ලියපු මාධ්‍යවේදිනිය සම්පූර්ණයෙන් ඒක ප්‍රතික්ෂේප කරල තිබුණා. හැබැයි ආණ්ඩුවේ ඇමැතිවරයා කියනවා සීඅයිඩී එකෙන් පරික්ෂණ වාර්තා ටික දුන්නේ කියල. ඒකෙන්ම පැහැදිලියි හොයල හොයල මුකුත්ම නැති වෙනකොට මඩ ගහන්න ඕන වෙනකොට අවශ්‍ය තොරතුරු ටික හදලා බොරු තොරතුරු මාධ්‍යයට නිකුත් කරනවා.

නිව්යෝක් ටයිම්ස් එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පල කළ පළමු අවස්ථාව මෙය නොවයි ජාත්‍යන්තර මාධ්‍යයක් වුණාට. රාජිත සේනාරත්න කියනවා නම් සීඅයිඩී එකට එෆ්සීඅයිඩීයට හොයාගන්න බැරිවුණු දේ නිව්යෝක් ටයිම්ස් හොයාගත්තා කියල රන්ජන් රාමනායක මහත්තයා කියනවා සීඅයිඩී එකෙනුයි එෆ්සීඅයිඩී එකෙනුයි තමයි නිව්යෝක් ටයිම්ස් එකට තොරතුරු දුන්නේ කියල.

එහෙම බැලුවාම ඒ දෙන්නම කියන්නේ බොරු. මේ දෙන්න ඇමෙරිකාව කිව්වොත් යුරෝපය කිව්වොත් එතනින් එහාට මේ දෙන්නට ලෝකයක් නෑ. රාජිත සේනාරත්න මහත්තයා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වුණු දවසේ ඉදල කියපු දේ අනිත් එක්කෙනා නැහැයි කියනවා.