‘ලංකාවේ කට්ටඬියන්ගේ පමණක් නොව ඉන්දියාවේ කට්ටඬියන්ගේ ආරක්ෂාවත් ඇතුළුව සියලු රැකවරණය සමග ඡන්දෙට ආපු මහින්ද පැරදුණා. දැන් මේ කුරුණෑගල පොල්ගහක එල්ලිලා දිනන්නට හැකිද‘ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා සඳුදා (10) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ජන රැලියක් අමතමින් පැවසීය.
‘රනිල් එදා කල්පනා කර කර හිටියේ නායකත්වය ගැන. සජිත් මහත්තයා කල්පනා කර කර හිටියේ සිරිකොත පුටුව අල්ලගන්නේ කොහොමද කිය කියා. පක්ෂේ ඇතුලේ අර්බුද රැසක් තිබුණා. හැබැයි ඒ වෙලාවේ රාජපක්ෂ පාලනයෙන් රට මුදවාගන්න ඉදිරියට ආවේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ ඉදිරියට ආපු ගමනේ ජයග්‍රහණයෙන් පසු යළි මහින්ද රාජපක්ෂට බලය අල්ලා ගැනීමට කිසිවිටක ඉඩ දෙන්නේ නෑ‘ යැයි පැවසූ දිසානායක මහතා ජනවාරි 8 ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන එකම පක්ෂයද ජනතා විමුක්ති පෙරමුණ බවත් කීවේය.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැලියට එම පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයින් රැසක් මෙන්ම පාක්ෂිකයෝ විශාල පිරිසක්ද එක්ව සිටියහ.






