‘නාමයෝජනා - ඇප මුදල් හෙට බාරගන්නේ නෑ’


(සිරංගිකා ලොකුකරවිට)

 

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඇප මුදල් බාරගැනීම හෝ නාමයෝජනා බාර ගැනීම හෙට (16) දිනයේ සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රජයේ නිවාඩු දිනයක් ලෙස හෙට (16) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මින් ඉහත නිවේදනය කර ඇති පරිදි මාර්තු 17 හා 18 දෙදින කාර්යාල වේලාවන් තුළ සහ මාර්තු 19 වැනි දා පෙරවරු 8.30 සිට මධ්‍යාහ්න 12.00 දක්වා ඇප මුදල් බාර ගැනීම හා නාමයෝජනා බාර ගැනීම සිදුකරන බව එම නිවේදනයේ සඳහන් වේ.

මාර්තු 19 වැනිදා නාමයෝජනා හා විරෝධතා පිළිබඳ කටයුතු අවසන් වූ පසු 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (1) වගන්තිය යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද විමසීමේ දැන්වීම් නිකුත් කිරීමට නියමිතය.

එමෙන්ම හෙට සඳුදා (16) රජයේ නිවාඩු දිනයක් බැවින් තැපැල් ඡන්ද අයැදුම්පත් මාර්තු 17 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බාර ගැනීමට සියලුම තේරීම්භාර නිලධාරීවරුන්ට සහ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇත.