‘නව ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු ගැන පක්ෂය සමඟ එකඟ නෑ’


(රොමේෂ් මධුෂංඛ)
       
නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂය ද එකඟ නොවන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.


අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වව්නියාව නගර සභා සංස්කෘතික ශාලාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.


එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ කීය.


‘නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසය වශයෙන් අපේ පක්ෂයේ ඉල්ලීම් මොනවද කියලා අපි දීලා තියනවා . ඒ වගේම අනෙකුත් පක්ෂත් ඒ විදිහට ඉල්ලීම් දීල තියනවා. නමුත් නව ව්‍යවස්ථාවට ඇතුළත් වී ඇති සියලුම කරුණු වලට අපි එකඟ නැහැ. නමුත් නව ව්‍යවස්ථාව සම්මත වුණු විදිහට තමයි සමහර අය කටයුතු කරන්නේ. ඒක සම්පුර්ණයෙන්ම වැරදියි.


නව ව්‍යවස්ථාව සම්මත කරගන්න නම් මන්ත්‍රීවරුන් 150 කගේ කැමත්ත තියෙන්න ඕනෑ. එක්සත් ජාතික පෙරමුණේ ඉන්න එක පක්ෂයක් විදිහට අපිත් නව ව්‍යවස්ථාවේ ඇතැම් කරුණුවලට එකඟ නැත්තම් කොහොමද මන්ත්‍රීවරුන් 150කගේ සහයෝගය ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම නම් හිතන්නේ මේ වසර තුළ ඒ දේ වෙන්නේ නැති වෙයි කියලයි. නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරල තියනවා. ඒක ක්‍රියාත්මක වෙනවා කියල සමහර අය ඡන්දය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරල තියනවා. සමහර අය මේක වාසියට ගන්නවා සමහර අය මේක ආණ්ඩු පක්ෂයට අවාසියක් විදහට ප්‍රචාරය ගෙනියනවා.'