‘නව ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රීලනිපයේ සහය ලබාදෙනවා’


(ඩයනා උදයංගනී)

 

රජය විසින් ඉදිරියේ දී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධය ක්‍රියාවලියට හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා වන ක්‍රියාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (1) පැවසීය.

 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කමිටුවක් ද පත්කර ඇතැයි කී මහලේකම්වරයා ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කෙරුණු පසු කමිටුව හරහා එහි ඇති කරුණු ගැඹුරින් සාකච්ඡා කර පක්‍ෂයේ අදහස් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.


ශ්‍රී.ල.නි.ප මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි සිය නිල නිවසේ දී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ  ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය සාක්‍ෂාත් කරගැනීමට උපරිම සහයෝගය ලබාදෙන බව ද ජයසේකර මහතා කීවේය.


20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ එක් අයෙක් ඉලක්ක කරගනිමින්, ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්ති ඉවත් කිරීමට ද  යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ 19 වන සංශෝධනය ගෙනැවිත් ගතවූ වසර 5 ක කාලයේදී එහි අඩුපාඩු රැසක් පෙනී ගිය බවයි.


විශේෂයෙන් මැතිවරණ කොමිසම වැනි කොමිෂන් සභාවල බලය පිළිබඳව ඇතිවූ ප්‍රශ්න නිසා රට තුළ අර්බුද ඇතිවූ බව කී ජයසේකර මහතා එමගින් ජනාධිපති, අගමැති හා කතානායකවරයා යනුවෙන් රට තුළ බලඅධිකාරීන් තුනක් නිර්මාණය වී අභ්‍යන්තර බල අරගලයක් ඇතිවීමෙන් රට අස්ථාවර වූ බව ද කීවේය.


ගෙන එන නව සංශෝධනයෙන් එවැනි වැරදි ඉවත් විය යුතු බව කී රාජ්‍ය ඇමැතිවරයා 19 වැනි සංශෝධනයේ ඇති සියලු කරුණු වෙනස් කරනවාද, යහපත් කරුණු එලෙසම තිබියදී අඩුපාඩු සංශෝධනය කරනවා දැයි තවම තීරණයක් ගෙන නැතැයි ද පැවසීය.


කෙටුම්පත ලැබුණු පසු ඒ ගැන සාකච්ඡා කර ආණ්ඩුවක් ලෙස සාමූහික තීරණයක් ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය. 


එමෙන්ම හිටපු ජනාධිපතිවරයාට නව තනතුරක් ලැබෙනවාද යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් මහලේකම්වරයා පැවසුවේ එතුමා කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොකර වෙනත් තනතුරක් දිය යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසූ බවත්, හිටපු ජනාධිපතිවරයා තනතුරක් ඉල්ලා නොමැති බවත්ය.