‘නඩු කටයුතුවලට අගතියක් නොවන බවට තීන්දුවක් දෙනවා නම් පාර්ලිමේන්තු කාරක සභාවට යනවා’


(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් එම ප‍්‍රහාරය පිළිබද නඩු කටයුතුවලට බලපෑමක් හෝ අගතියක් නොවන බවට කතානායකවරයා තීන්දුවක් ලබාදෙන්නේ නම් තමන් එම කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
මෙම කාරක සභාව පත්කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුවලට මෙන්ම නඩු පැවරූ අයට අගතියක් වන බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබූ බව කී ජයසේකර මහතා ජනාධිපති ලේකම්වරයා විසින් එය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර ඇතත් මෙතෙක් එය සභාගත කිරීමට කතානායකවරයා පියවර ගෙන නැතැයිද සදහන් කළේය.
 
ෙඑය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභාවෙන් කිසිම අගතියක් නොවන බවට කතානායකවරයා තීන්දුවක් දුනහොත් තමා එය හමුවට ගොස් සාක්‍ෂි ලබාදෙන බව කී ජයසේකර මහතා තමන් වරදක් කර නොමැති අතරම මේ හමුවේ කීමට කරුණු තිබෙන බවද කීවේය.
 
පාර්ලිමේන්තු තේරීම කාරක සභාවට සහභාගී නොවීමෙන් තමන් කිසිම වරදක් කර නොමැති බව කී මන්ත‍්‍රීවරයා ඒ තුළින් තමා පාර්ලිමේන්තු වරප‍්‍රසාද හා ස්ථාවර නියෝග ආරක්‍ෂා කර ඇති බවත් ප‍්‍රකාශ කළේය.
 
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (2) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
 
මෙම විශේෂ කාරක සභාව මගින් කරන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිවයුත්තන් සෙවීම නොව චෝදනා ඇති රිෂාඞ් බදියුදීන්ට මහතා වැනි අය සුද්ද කිරීම බව ද හෙතෙම සදහන් කළේය.
 
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බව කී දයාසිරි ජයසේකර මහතා එය පරාජය කරවීමට නම් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමේ සියලු දෙනා ඒකරාශී කරගත යුතු බව ද කීවේය.