‘දේශපාලනඥයින්ට ඇති පිළිගැනීම වාෂ්පවෙලා‘ - වික්ටර් අයිවන්


(කාංචන කුමාර ආරියදාස)

ශ්‍රී ලංකාව මේ වන විට විශාල අර්බුදයකට ලක්ව ඇති බවත් මෙම අර්බුදය නිසා මෙරට සමස්ත රජයත්  ආයතන ක්‍රමයක් විශාල බිඳ වැටීමකට ලක්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (06)  දඹුල්ලේ පැවැති සම්මන්ත්‍රණයකදී සඳහන් කළේය.

දේශීය ප්‍රති නිර්මාණය කරමු  මැයෙන්  පුනරුදය  සංවිධානය මගින් දිවයින පුරා සංවිධානය කරන ලද  පුනරුද තරුණ තරුණියන් හමුවේ මෙම සම්මන්ත්‍රණය දඹුල්ලේ දී පැවැත්විණි.

මේ අවස්ථාවට දිවයින පුරා තරුණ තරුණියන් සහ විවිධ වයස් මට්ටම් වල 350ක් පමණ දෙනා සහභාගි වී සිටියහ.
මේ අවස්ථාවේදී  මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රටේ සෑම තැනකම කුණුවෙච්ච ගතියක් පවතින බවත් දේශපාලන නායකයන්ට පවතින පිළිගැනීම  වාෂ්ප වී ඇති බවත්ය.
කිසිදු නීති සම්පාදකයෙකු  ක්‍රියාත්මක වීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවත් අවම වශයෙන් ගැසට් නිවේදනයක් හෝ නිසියාකාරව කෙටුම්පත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ද සඳහන් කළේය.
වර්තමාන  නායකයින්ට ප්‍රඥාව නොමැති බවත් මේ හේතුව නිසා විශාල අවුලකට රට පත්ව තිබෙන බවත්  හෙතෙම සඳහන් කළේය.