එකමුතුවී රට ඉදිරියට ගෙන යාමේ ඉදිරි වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැතැයිද ආණ්ඩු පක්ෂය හා විපක්ෂය පමණක් නොව සෙසු දේශපාලන පක්ෂද එකිනෙකාට චෝදනා කරගැනීම හැර රටේ සංවර්ධනයට අතහිත දෙන බවක් නොපෙනේ යැයිද ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයික වන තමරා කුනනායකම් මහත්මිය කියන්නීය.
තමරා කුනනායකම් මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධවී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිනියක ලෙසත්, , බ්‍රසීලය, කියුබාව හා වතිකානුව වැනි රටවල තානාපති ලෙසත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ඇති වෘත්තීන් රැසක නියැලුණු අතර විදේශ විශ්ව විද්‍යාලයන්හි දේශන සඳහා කථිකාචාර්යවරියක ලෙසත් සහභාගී වූවාය. ජර්මනියේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ලෙසද ඇය කටයුතු කළාය. තමරා කුනනායකම් මහත්මිය නැවත ශ්‍රී ලංකාවට පැමිණ මෙරට පදිංචිවී සිටින්නීය.
තමා කොටි හිතවාදිනියක බව කියමින් රූපවාහිනී වැඩසටහනකදී විදේශ ඇමැති මංගල සමරවීර අපහාසාත්මක අයුරින් චෝදනා කළ බව තමරා කුනනායකම් මහත්මිය සඳහන් කළාය.
2015 මාර්තු 17 වැනිදා ස්වර්ණවාහිනියේ රතු ඉර වැඩසටහනේදී සමරවීර මහතා මෙසේ කියා ඇතැයි කියන ඇය එසැණ සමග පැවසූයේ තමාට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා නීතිවේදිනී අරුනෝදිනී සෙන්දුප්පෙරුම මහත්මිය මගින් මංගල සමරවීරට ලියුමක් යවා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මංගල සමරවීර මහතාගෙන් දින 10ක් තුළ ප්‍රතිචාරයක් නොලැබුණහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය කීවාය.
තමා කිසිලෙසකින් හෝ කොටි සංවිධානයට පක්ෂපාතීව කටයුතු නොකළ තමා ඉන් දැඩි අපහසුතාවයට පත්වූ බවත් ඇය කියන්නීය.
තමාට කොටි නියෝජිතවරියක ලෙස චෝදනා කළත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ශ්‍රී ලංකාවේ දකුණේ වැසියන්ගේ දරිද්‍රතාවය, විවිධ ආර්ථික අපහසුතා, සංවර්ධනය ගැන කථා කිරීම හේතුවෙන් තමාට කොටි ත්‍රස්තවාදීන්ගෙන් මරණීය තර්ජන පවා එල්ලවූ බවත් කුනනායකම් මහත්මිය සඳහන් කළාය.
අසූව දශකයේදී තමා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිටියදී තම නිවසට පවා පැමිණ කොටි සාමාජිකයින් නිවසේ යතුරු සිදුරේ ගම්පටයක් අලවා තිබිණැයිද එහි තේරුම කොටි සංවිධානය විවේචනය කිරීමෙන් වැළකී සිටිය යුතුයැයිද එසේ නොකළහොත් මරා දමන බව යැයිද ඇය පැවසුවාය.
තමා විදේශ අමාත්‍යංශයේ තානාපතිවරියක ලෙස රටට හිතවත්ව පක්ෂපාතීව වැඩ කළා මිස කිසිම දේශපාලනඥයකුට කඩේ නොගිය බවද ඇය කියන්නීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කීර්තිමත් මහ ලේකම්වරයකු වූ කොෆී අනන් ඉගෙනගත් ජිනීවා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තමා විදේශ කටයුතු සම්බන්ධයෙන් ලත් අත්දැකීම් හා දැනුම් සම්භාරය හේතුවෙන් තනතුරු හිමිවූ බවත් සඳහන් කළාය. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු නව රජය මගින් තමාව නැවත ශ්‍රී ලංකාවට කැඳවූ බවත් ඇය කීවාය.
වර්තමානයේ දේශපාලනඥයින් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිනවා හැරෙන්නට එකමුතුවී රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් කටයුතු නොකරන බවත් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාමේ හැකියාව ඇති බුද්ධිමතුන්, වෘත්තිකයන් ඒකරාශී කරගෙන තනි තනි පුද්ගලයා වශයෙන් නොව සාමූහිකව දේශපාලන තීන්දු තීරණගෙන රට ඉදිරියට ගෙන යාමටත් දුප්පත් ලාංකික ජනතාව නගා සිටුවීමටත් කටයුතු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.
වත්මන් දේශපාලනඥයින් කෙරෙහි කළකිරීමක් ඇති බවත් ඇය කීවාය.

