‘දුබලයා පෙළනු එපා’
අගතිගාමී ලෙස ඇති කැර ගත් පූර්ව නිගමන වලින් මිදෙන ලෙසත් තිස් වසරක යුද්ධයෙන් පසු ස්වශක්තියෙන් නැඟී සිටින ශ්‍රී ලංකාවට පිළිගත නොහැකි චෝදනා එල්ල නොකර මිත‍්‍රත්වයේ හස්තය දිගු කරන ලෙසත් මහින්ද රාජපක්ෂ ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඈත රටවල සිටින ‘අපේ මිතුරන්ගෙන්’ ඉල්ලා සිටියේය. ලිච්ඡවී රජ දරුවන්හට ගෞතම බුදුන්වහන්සේ දෙසූ පරිදි මිත‍්‍රශීලිව රැස්වී, සාකච්ඡා කැර සුහදව, විසිරැයාමේ පිළිවෙත එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු කළයුතු ගුණාංගයක් බව ද ජනපති කීවේය. බලවත් රටවල් සිය ශක්තිය යුක්තිය හා සාධාරණත්වය අභිබවා නොයා යුතු යැයි ද දුර්වල රටවල ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව අවධානය යොමු කළ යුතු යැයි ද ජනපති අවධාරණය කෙළේය.

