(කේ. බුද්ධික කුමාරසිරි)
“අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකට අයත් වුවත්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිමය පියවර ගැනීම අපට සිදුකළ නොහැකියි. ඇය කියන පරිදි අපි එවැනි නීතිවිරෝධී කටයුතුවලට උපකාර කර නැහැ, එවැනි නිලධාරිනියකගෙන් අපි එවැනි දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ” යැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද(22) පූගොඩ දී පැවසුවාය.
අමාත්‍යවරිය මේ බව ප‍්‍රකාශ කළේ ඉදිකිරීමට යෝජිත පූගොඩ උසාවි සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම සඳහා පැරණි උසාවි සංකීර්ණ භූමියේදී පැවති උත්සවයෙන් අනතුරුවය. ඒ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදුවී යැයි පැවසෙන දුරකතන සංවාදය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් කරුණු විමසූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙසේ ද කීවයා.
“අමාත්‍යාංශ ලේකම්වරියගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා සහ රාජ්‍ය, සේවා කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරනවා. ඇය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ද තිබෙනවා. එසේම එම දුරකථන සංවාදයේ සඳහන් පරිදි දේශපාලනඥයින් සම්බන්ධවීමෙන් මෙම සිද්ධිය වූ බව ඇය පවසා ඇති නිසා එම අමාත්‍යවරුන් කවුරුන්ද යන්න වහාම රටට හෙළි කළ යුතු වෙනවා.
අපි එවැනි කටයුතුවලට කිසිවිටක උපකාර කරලා නැහැ, එවැනි නිලධාරිනියකගෙන් අපි එවැනි දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. දිල්රුක්ෂි මහත්මිය සඳහන් කරන ආකාරයට ඇමතිවරයෙක් සම්බන්ධ වුවත්, නොවුවත් මෙවැනි වගකීමක් දරන අයෙකුට එවැනි ප‍්‍රකාශ කිරීම සිදුකළ නොහැකියි” යැයිද ඇය පැවසුවාය.

