‘දැරියගේ ඝාතනයට පුතා සම්බන්ධ නෑ‘


කොටදෙනියාව   දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සිද්ධිය වූ සිකුරාදා රාත්‍රී නිවසේ සිටි බවත්, ඔහු එම ඝාතනයට සම්බන්ධ නැති බවත් සිසුවාගේ මව කියන්නීය.

පොලිසිය තම දරුවා අත්අඩංගුවට ගත් නිසා ප්‍රදේශවාසීන් තමන් දෙස බලන්නේ සතකු දෙස බලන ආකාරයට බවත් ඇය පවසන්නීය.

දැරියගේ ඝාතනය හෙළා දකින බවත්, ඝාතකයන් සෙවීමට උදව් කරන බවත් ඇය කියන්නීය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ මිය ගියේ ද කුඩා දරියක් සේම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ද පාසල් සිසුවකු නිසා ඔහුගේ අනන්‍යතාවය හෙළි කිරීම වරදක් බවයි. පොලිසිය මීට වඩා වගකිව යුතුව කටයුතු කළ යුතුව තිබූ බවත්, ඇතැම් විට ඔහු නිදහස් වුවත් පොලිසිය ඔහුගේ අන්‍යතාවය හෙළි කළ නිසා අධ්‍යාපනය කඩා වැටී ඔහු අසරණ තත්ත්වයට වැටෙන බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.

මෙවැනි විමර්ශන වලදී පොලිසිය මීට වඩා සිතා බලා කටයුතු කළ යුතු බව ද ඔහු පවසයි. කෙනකු වරදකරුවකු බව ඔප්පු වන තුරු ඔහු නිර්දෝෂි පුද්ගලයකු බව ද ඔහු කියයි.