‘දැන් අපි දෙන්නට කථාවක් නෑ‘ සෝභිත හිමියෝ ජනපතිට කියති


මෛත්‍රිපාල සිරිසේන ජනපතිට හැට දෙලක්ෂයක් ඡන්ද ලබාදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පරාජය කිරීම සඳහා ක්‍රියාකාරී මෙහෙවරක් කළ සාධාරණ හෙටක් සඳහාවූ ජාතික ව්‍යාපාරය සංවිධානයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමි හා මෛත්‍රිපාල සිරිසේන ජනපති අතර ලොකු විරසකයක් හටගෙන ඇත.

මහින්ද රාජපක්ෂ රජයේ වංචා, දූෂණ, ඥාති සංග්‍රහය හා ඒකාධිපති ස්වරූපයට එරෙහිව කථාකිරීමට බොහෝ දෙනා ඉදිරිපත් නොවූ සමයක ජීවිත තර්ජන පවා නොතකා මහින්දට එරෙහිව සිවුරේ බලය පෙන්වූ සෝභිත හිමි මෛත්‍රි පාලනයට දින 180ක් ගතවූ තැන සෝභිත හිමිට ජනපති දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවේ සෝභිත හිමියන් ‘නොකළ යුතුදේ ඔබතුමා කළානේ. දැන් ඉතින් කථා කරලා වැඩක් නැහැ‘යි කියමින් සෝභිත හිමියන් දුරකථනය විසන්ධි කළ බව කියති.

නොකළ යුතු දේ කළා යනුවෙන් සෝභිත හිමියන් පවසා ඇත්තේ මහින්දට සන්ධාන අපේක්ෂකත්වය දීමයි. ජනපති ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර තමාට ඔහු හමුවීමට අවශ්‍ය බව සෝභිත හිමියන් කලින් දන්වා තිබුණි.

එහෙත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එවැනිම ඉල්ලීමක් කර තිබුණාලු.

පසුගිය සිකුරාදා සවස 5ට ජනපති සෝභිත හිමියන්ට දුරකථන ඇමතුමක් ගෙන ඇත. එහෙත් ඒ වන විට මහින්දට මහ ඡන්දයට තරග කිරීමේ වරය ලැබී ඇතැයි සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබිණි. ‘දැන් ඉතින් අපි දෙන්නාගේ කථාවෙන් වැඩක් නැහැ‘යි සෝභිත හිමියන් ජනපතිට කියා ඇත්තේ එම වටපිටාව යටතේය. ජනපති චන්ද්‍රිකා හමුවේදැයි නොදන්නා නමුත් ඇගේ උපන්දින සාදයට ඔහු නොගිය බව කියති. හිටපු ජනපතිනියගේ 70 වැනි උපන්දිනය ජූනි 29 වැනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් එදා සිට ඇගේ සමීප හිතවතකු වන මංගල සමරවීර මහතා ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ විදේශ ඇමැති නිල නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කර තිබිණි. ප්‍රධාන ආරාධිතයා මෛත්‍රිපාල සිරිසේන මහතාය. මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට එන බව කලින් ස්ථිර කර තිබුණි. ඔහු පමාවූ නිසා ජනපතිගේ විජේරාම මාවතේ නිල නිවසට දුරකථන ඇමතුමක් දුන්නේය. ජනපති නිල නිවසේ සහායකයකු පැවසූයේ සිරිසේන මහතා කලින් නින්දට ගිය බවයි. කොන්දේ අමාරුවක් ඊට හේතුව බවද ඔහු කියා ඇත. මුදල් ඇමැති රවී කරුණානායක එජාප සභාපති මලික් සමරවික්‍රම ඇමැති අර්ජුන රණතුංග, පද්ම මහාරාජා හා මනෝ තිත්තවැල්ලද එහි වූහ. එහි වෙනත් ස්ථානයකදී කුමාරතුංග මහත්මිය සිය නොසතුට පිට කළාය. ජනපති සිරිසේන මහින්දට නාම යෝජනා දී ඇතැයි කීවාය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඔහු පරාජය කළ යුතු බවද ඇය පැවසුවාය. එදා රාත්‍රියේ කුමාරතුංග මහත්මියට හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිට හෝ මුහුණ දීමේ හැකියාවක් ජනපතිට නොවූ බව එහි සිටි බොහෝ දෙනා කීහ.

සෝභිත හිමියන්ට ඇමතුම ගත් ජනපති ‘අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ලිපියක් එවා තිබුණා. දවසකින් දෙකකින් ඔබවහන්සේට දිනයක් දිය හැකි යැයි‘ කියා ඇත.

එවැනි කථාවක් ඇසීමට සෝභිත හිමියන්ට අවශ්‍ය නොවීය. නොකළ යුතු දේ කිරීමෙන් පසුව හමුවීමෙන් වැඩක් නැතැයි ඒ හිමියන් නොඉස්පාසුවෙන් කියා ඇත්තේ ඒ නිසාය.

‘දැන් අපි දෙන්නට කථා කරන්න දෙයක් නැහැනේ‘ යනුවෙන් සෝභිත හිමියන් මෛත්‍රී පූර්වකව ජනපතිට කියා ඇත. ඒ ඇසූ ජනපති සෝභිත හිමියන්ට පවසා ඇත්තේ ‘එම තීරණය ගැන මගේ කිසිම සම්බන්ධයක් නෑ. එය සන්ධානේ තීරණයක්‘ විචක්ෂණ බවින් කෙළ පැමිණ සිටින සෝභිත හිමියන් එවිට ජනපතිට යෝජනා කර ඇත්තේ ‘එහෙනම් මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසයි.