‘දරුවාට සාධාරණයක් කරන්න‘


කොළඹ ආනන්ද විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුගේ පහර කෑමට ලක් වූ තම දරුවාට සාධාරණයක් කරන්නැයි එම විද්‍යාලයයේම ආදි සිසුවකු වන උපාලි ජයවර්ධන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.

කිසිදු වග විභාගයකින් තොරව දරුවාට පහර දී ඇති බවත්, පහර කෑමෙන් පසු  පාසලේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගොස් බෙහෙත් වර්ග තුනක් බොන්නට දී ඇති බවත්, පසුව දරුවාට වමනය ගොස් ඇති බවත් ජයවර්ධන මහතා විසින් අගමැතිට යැවුණු ලිපියේ සඳහන්ය.

දරුවාට පහර දුන් බව දැනගත් පසු තමා පාසලට ගොස් විදුහල්පති හමුවූ බවද, දරුවා ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස විදුහල්පති පැවසූ බව ද, එතැනට ආ දරුවාට පහර දුන් නියෝජ්‍ය විදුහල්පති තමාට ද බැණ වැදුණු බව ද, ඔහු දින දෙකක් රෝහලේ ප්‍රතිකාර ලැබූ බව ද පියා සඳහන් කරයි.

සිද්ධිය යටපත් කරන්නැයි දිගින් දිගටම බලපෑම් එන බව කියන උපාලි ජයවර්ධන මහතා කීර්තිමත් පාසලක් වන ආනන්ද විද්‍යාලයයේ මෙවන් සිද්ධියක් යළි ඇති නොවීමට මේ   ගැන සාධාරණ විමර්ශනයක් කරන්නැයි අගමැතිගෙන් ඉල්ලා තිබේ.

මේ අතර පසුගිය පස් වැනි දා පාසලේ දී හය ශ්‍රේණියේ සිසුවකු ගුරුවරයකුගේ වාහනයක ගැටීමේ සිද්ධිය ගැන ද විමර්ශනයක් පවත්වන්නැයි අදි ශිෂ්‍ය සංගමයේ 75-80 කණ්ඩායම විදහල්පතිගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

මේ සියලු සිද්ධි ගැන සාධාරණ විමර්ශනයක් කරන්නැයි ලංකා ගුරු සංගමය ද ඉල්ලයි.